General06 May 2017

ගම්පොළදී කප්පම් ඉල්ලා දරුවෙකු පැහැර ගැනුණු සිද්ධියේ සම්පුර්ණ කතාව

පසුගිය 03 වන දා ගම්පොළ නගරයේදී වයස අවුරුදු දෙකයි මස 08ක් වයසැති පිරිමි දරුවෙකු සහ 26 හැවිරිදි ඥාති තරුණයෙකු අතුරුදහන් වී ඇති බවට දරුවාගේ මව විසින් ගම්පොළ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබුණා.

තම සැමියාට දිවා ආහාරය රැගෙන ඔහුගේ ව්‍යාපාරික ස්ථානය වෙත පැමිණෙමින් සිටියදී ඔවුන් මෙලෙස අතුරුදන්වී ඇති බවටයි ඇය පැමිණිල්ල කර තිබුනේ.

පැමිණිල්ල සම්බන්ධයෙන් පොලීසිය විශේෂ පොලිස් කණ්ඩායම් 03 ක් යොදවා විමර්ශන ආරම්භ කරනු ලැබුවා.

මේ අතර දරුවාගේ පියාට පසුගිය 04 වනදා දරුවා සමග පැහැරගැනුනු 26 හැවිරිදි තරුණයාගේ දුරකථනයෙන්, දුරකථන ඇමතුමක් ලැබෙන්නේ දරුවා නිදහස් කිරීමට ලක්ෂ 30ක කප්පම් මුදලක් ලබා දෙන ලෙස දන්වමින්.

කෙසේ වෙතත් දරුවාගේ පියා විසින් අදාල ලක්ෂ 30ක කප්පම් මුදල ලක්ෂ 10 දක්වා අඩු කරගෙන ඇති බවටයි වාර්තා වුණේ.

දරුවා පැහැරගෙන ඇත්තේ දරුවා සමග අතුරුදන් වූ තරුණයා බව පොලිසිය සිදුකල විමර්ශන වලදී අනාවරණය වී ඇති බව පොලිසිය ඊයේ ප්‍රකාශ කළා.

අදාල තරුණයා යම් මානසික අබාධයකින් පෙළෙන බවට එහිදී අනාවරණය කරගෙන තිබෙනවා.

මේ අතර පොලිසිය අද (06) නිවේදනය කලේ කප්පම් කරුවන් විසින් අදාල 26 හැවිරිදි තරුණයා මුදා හැර ඇති බවයි.

ඒ අනුව අදාළ තරුණයාගෙන් ලද තොරතුරු මත කුඩා දරුවා සොයා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් 03ක් පරීක්ෂණ ආරම්භ කළ බවට පොලිසිය සදහන් කළා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය අද පෙරවරුවේ සඳහන් කළේ කුඩා දරුවා සොයා ගැනීම සඳහා මහජනතාවගේ සහය අපේක්ෂා කරන බවයි.

ඒ අනුව තොරතුරු දැනුම් දීම සදහා දුරකථන අංක කිහිපයක්ද පොලිසිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

පොලිසිය අද පස්වරුවේ නිවේදනය කළේ පැහැර ගැනීමට ලක්වූ අවුරුදු දෙකයි මස 08ක් වයස දරුවා මඩකලපුව - කරදියනාරු ප්‍රදේශයෙන් සොයා ගත් බවයි.

එහිදී පොලිසිය සිදුකළ වැඩිදුර පරීක්ෂණ වලදී හෙළිවී ඇත්තේ දරුවා පැහැර ගැනීම, දරුවා සමග අතුරුදන් වූ බවට පැවසූ තරුණයා විසින් මෙහෙයවා ඇති බවටයි.

පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ වනවිට ඔහු සමග මඩකලපුව - කරදියනාරු ප්‍රදේශයේ පදිංචි මවක සහ දියණියක ද සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බව ද පොලිසිය සදහන් කළා.








Related recommendation
Hiru TV News | Programmes