International29 September 2025

ජලභීතිකාවෙන් වසරකට පාකිස්ථානයේ 1,000 ක් මියයති

ජීවිතාරක්ෂක ප්‍රතිකාර තිබියදීත්, සෑම වසරකම පාකිස්ථානයේ පුද්ගලයින් 1,000ක් පමණ ජලභීතිකා රෝගයෙන් මිය යන බවට ඇස්තමේන්තු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එලෙස මියයන පුද්ගලයින් අතරින් බහුතරයක් ළමුන් බවයි ඒවායේ දැක්වෙන්නේ.

පාකිස්ථානයේ ග්‍රාමීය සහ අඩු ආදායම්ලාභී ප්‍රජාවන් තුළ ජලභීතිකා රෝගය උග්‍ර ඛේදවාචකයක් බව එරට ළමා ජීවිත පදනමේ වෛද්‍ය අධ්‍යක්ෂ මොහොමඩ් ඉර්ෆාන් හබීබ් පවසා තිබෙන බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන්.

ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දී ඇත්තේ, ග්‍රාමීය ප්‍රදේශවල දරුවන් නිතරම අයාලේ යන බල්ලන් විසින් සපා කෑමට ලක්වීමයි.

ප්‍රතිකාර ප්‍රමාද වීම සහ රෝහල් වෙත ළඟාවීම අපහසු වීම හමුවේ, ක්ෂණික ප්‍රතිකාර අහිමි වීම මරණවලට ප්‍රධාන හේතුව බව ද පැවසෙනවා.

“ජලභීතිකා රෝගයෙන් ජීවිත අහිමි විය යුතු නැත; නිවැරදි පියවර වහාම ගතහොත් එය 100% ක් වළක්වා ගත හැකිය,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

“සෑම දෙමව්පියෙකුම සහ රැකබලා ගන්නෙකුම ජීවිතාරක්ෂක පියවර දැන සිටිය යුතුය: බල්ලන් සපා කෑ තුවාල සබන් හා වතුරෙන් අවම වශයෙන් විනාඩි 15 ක් සේදීම, ප්‍රමාදයකින් තොරව හදිසි ප්‍රතිකාර ලබා ගැනීම සහ එන්නත් කිරීමේ කාලසටහන සම්පූර්ණ කිරීම,” වෛද්‍ය හබීබ් ඩෝන් පුවත්පත වෙත කළ අදහස් දැක්වීමේදී වැඩිදුරටත් සඳහන්.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ජලභීතිකා රෝගය යනු මධ්‍යම ස්නායු පද්ධතියට බලපාන එන්නත් මගින් වළක්වා ගත හැකි, සත්ත්ව විද්‍යාත්මක, වෛරස් රෝගයක්.

මිනිසාට වැළඳෙන ජලභීතිකා රෝගයෙන් 99% ක් පමණ සුනඛයින්ගේ වෛරස් මගින් සම්ප්‍රේෂණයට වනවා.

ඒ සඳහා බහුලව ගොදුරු වන්නේ වයස අවුරුදු 5 ත් 14 ත් අතර දරුවන් බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
Related Recommends
Hiru TV News | Programmes