General10 October 2025

විමල්ගෙන් තංගල්ල පොලීසියට පැය දෙකහමාරක ප්‍රකාශයක්

සීනිමෝදර මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව මාධ්‍යවල ගිය ප්‍රවෘත්ති සහ තමන් විසින් සොයා ගත් තොරතුරු අනුව අදාළ ප්‍රකාශය සිදු කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ තංගල්ල පොලීසියට ප්‍රකාශ කර ඇතැයි වාර්තා ‍වෙනවා.

සීනිමෝදර මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව සැකපිට අත් අඩංගුවට ගත් සැකකරුවකු ගැන මාධ්‍ය සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට ඊයේ (09) පෙරවරු 9.30 ට පමණ විමල් වීරවංශ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකට ගොස් තිබුණා.

ඔහු එම ‍ඒකකයට ගොස් තිබුණේ නීතිඥ නෙලුම් ක්‍රිෂාන්ත පුංචිහේවා සමඟයි.

තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා වීරවංශ ගෙන් ප්‍රශ්න කර  ප්‍රකාශය සටහන් කරගත් අතර ප්‍රකාශය ලබා ගැනීමට පැය දෙකහමාරක  පමණ කාලයක් ගතව තිබූ බව පොලිසිය පවසනවා.

රැඳවුම් නියෝග මත තංගල්ල පොලිසිය භාරයේ ප්‍රශ්න කරමින් සිටි ‘පුවක්දණ්ඩාවේ සනා” නමැත්තාට අයත් ධීවර යාත්‍රාවකින් මත්ද්‍රව්‍ය රැගෙන ඒම පිළිබඳව වීරවංශ සිදු කළ ප්‍රකාශය ගැන පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණා.

එහිදී වීරවංශ පවසා ඇත්තේ එම සැකකරුට අයත් ධීවර යාත්‍රාවකින් ගොඩබිමට මත්ද්‍රව්‍ය රැගෙන ආ බවට තමා ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට පෙර මේ රටේ ප්‍රසිද්ධ මාධ්‍ය කිහිපයකින් එලෙස  ප්‍රචාරය කර තිබූ බවයි.

එසේම, මෙම කරුණ සම්බන්ධයෙන් තමාද තොරතුරු සොයා ගත් බව ඔහු ප්‍රකාශ කළ බව පොලීසිය පවසනවා.

දහවල් 12 ට පමණ ප්‍රකාශය ලබාදීමෙන් පසු වීරවංශ පිටව ගියා .

හම්බන්තොට දිස්ත්‍රික් ජාතික නිදහස් පෙරමුණේ නායක වීරකැටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී සඳුන් බණ්ඩාර බෝදරගම ඇතුළු පක්ෂයේ සාමාජිකයන් පිරිසක් වීරවංශ පැමිණෙන විට තංගල්ල කදුරුපොකුණ පාරේ පිහිටි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ කාර්යාලය අසළට පැමිණ සිටියද ඔවුන්ට එම කාර්යාලය තුළට යාමට පොලිසිය ඉඩ දුන්නේ නැත.

Related recommendation
Hiru TV News | Programmes