General22 October 2025

වෙඩි නොවදින ප්‍රභූ රථයක් ගරාජයකින් සොයාගනී

වෙඩි නොවදින මෝටර් රථයක් නුගේගොඩ, පාගොඩ පාරේ ගරාජයක දමා ගොස් තිබියදී ඊයේ (21) සොයාගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසනවා.

එම රථය ජර්මන් රාජ්‍යයෙන් මෙරටට ගෙන්වූ එකක් බවයි වාර්තා වන්නේ.

බෙන්ස් වර්ගයේ මෙම වෙඩි නොවදින මෝටර් රථය 2008 වසරේදී මෙරටට ගෙන්වා ඇති අතර 2017 පසුව කිසිදු සේවා කටයුත්තක් සඳහා එම රථය මෙරටට ගෙන්වූ ඩිමෝ සමාගමට ගෙනැවිත් නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද පොලිසිය පවසනවා.

නුගේගොඩ, පාගොඩ පාරේ, පළමුවන පටුමගේ පිහිටි ගරාජයක සැකකටයුතු පුද්ගලයකු රැඳී සිටින බවට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ අනුව නිලධාරී කණ්ඩායමක් එම ගරාජයට ගොස් පරීක්ෂා කිරීමේදී අලුත් වැඩියාවක් සඳහා රැගෙන ආ බව පැවසෙන අංක තහඩු නොමැති මෝටර් රථයක් වසා දමා තිබියදී දැක තිබුණා.

පසුව එම රථය විවෘත කොට දොරවල් ඇරීමට යාමේදී අධික බරකින් යුක්ත වීම නිසා සැකසිතී මෝටර් රථය තව දුරටත් පරීක්ෂා කිරීමේදී එය වෙඩි නොවදින රථයක් බවට තොරතුරු අනාවරණය වූ බවයි පොලීසිය පවසන්නේ.

පසුව මෝටර් රථය පොලිස් භාරයට ගෙන වැඩිදුර විමර්ශනය කිරීමේදී එය ඉකුත් මැයි මස 23 දා අලුත් වැඩියාවක් සඳහා ගරාජයට රැගෙන ආ බවත් රැගෙන ආ පුද්ගලයාගේ අනන්‍යතාවය නොදන්නා බවයි ගරාජ හිමියා කියා ඇත්තේ.

මෙම මෝටර් රථය පිළිබඳව රේගුවෙන් හා ඩිමෝ ආයතනයෙන් තොරතුරු පරීක්ෂා කිරීමේදී එය 2008 වසරේදී ඉන්දීය තානාපති කාර්යාලයෙන් මෙරටට ගෙන්වූ එකක් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඉන්දීය තානාපති කාර්යාලයෙන් වාර්තාවක් කැඳවා ඇති අතර එය ලැබෙන තෙක් භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ.

මෙම මෝටර් රථය කිසියම් ප්‍රභූ පුද්ගලයෙකු භාවිතා කළේද නැතහොත් කිසියම් අපරාධයක් සඳහා භාවිතා කර ඇතිදැයි යන්න සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි (43) හැවිරිදි ගරාජ හිමියාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කොට කරුණු වාර්තා කිරීමට නියමිතයි.
Related Recommends
Hiru TV News | Programmes