General24 October 2025

කිරිවෙහෙරේ STF ආරක්ෂාව ඉවත් කරලා : නාහිමිගෙන් පොලිස් ඇමතිට ලිපියක්

2018 වසරේ තමන්ට කිසියම් අයෙකු විසින් වෙඩි තැබීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ද ලබාදී තිබූ නමුත් එය මේ වනවිට ඉවත්කොට ඇති බව කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් විසින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී තිබෙනවා.

එහිදී, ඓතිහාසික කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති තනතුර වෙනුවෙන් අති පූජ්‍ය අලුත් වැව සෝරත නාහිමියන්ගේ පාලන කාලය තුළ සිටම පොලිස් ආරක්ෂාව විහාරස්ථානයට ලබාදී තිබූ බව ද උන්වහන්සේ නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම, වෙඩි තැබූ පුද්ගලයා මේ වනවිටත් නිදැල්ලේ සැරිසරන බවත් සිය ජීවිතයට එල්ලවිය හැකි තර්ජන තවදුරටත් පවතින බැවින් ආරක්ෂාව තවදුරටත් ලබාදෙන ලෙස උන් වහන්සේ මහජන ආරක්ෂක අමාත්‍යවරයාට යොමුකළ ලිපියේ දැක්වුණා.

එම ලිපිය පහතින්,

ඓතිහාසික කිරිවෙහෙර විහාරස්ථානය සඳහා ලබා දී තිබූ පොලිස් හා විශේෂ කාර්ය කාර්‍යබලකා ආරක්ෂාව සම්බන්ධවයි

ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරස්ථානය විහාරාධිපති තනතුර වෙනුවෙන් අපවත් වී වදාළ අති පූජ්‍ය අලුත්වැව සෝරත නාහිමියන් වහන්සේගේ පාලන කාලය තුළ සිට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව වර්තමාන විහාරාධිපති වශයෙන් මා හටද ලබාදීම සම්බන්ධයෙන් පළමු කොට ස්තූතිවන්ත වෙමි.

විහාරාධිපති ලෙස මා හට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාවට අමතරව 2018 දී මා හට වෙඩි තැබූ අවස්ථාවේදී පැවති රජයේ විශේෂ නියෝගයක් අනුව මා හට ලබා දී තිබූ පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ද මේ අවස්ථාව වන විට ඉවත්කොට ඇති අතර මා හට වෙඩි තැබූ පුද්ගලයින් මේවන විටත් නිදැල්ලේ සැරිසරමින් සිටී.

වෙඩි තැබීමක් සිදුකොට මාගේ ජීවිතයට තර්ජනයක් ද එල්ල වූ අතර, එම තර්ජන සහ වෙනත් සාධක තවදුරටත් පවතින බැවින් ද, එම නඩුව තවමත් සමථයකට පත් නොවී ගරු අධිකරණයේ විභාගය වන බැවින් මෙම ආරක්ෂාව තවදුරටත් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එම අවස්ථාවේ සිට මේ දක්වා කතරගම පොලිසියට අනුයුක්තව මා හට ආරක්ෂාව ලබාදුන් පොලිස් නිලධාරීන් දෙදෙනා සහ කතරගම පොලිස් විශේෂ කාර්‍ය බලකා කඳවුරට අනුයුක්තව සේවය කල පොලිස් විශේෂ කාර්‍යබලකා සෙබලුන් සිව්දෙනා නැවත ලබා දෙන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.

තවද මෙම ඉවත් කිරීම එනම් 22-10-2025 දින සිට මා හට කිසිදු පෙර දැනුම් දීමකින් තොරව ඉවත් කර ගෙන ඇති බවද මෙයින් දන්වා සිටිමි.

ඉහත කරුණු සලකා බලා විහාරාධිපති වන මා වෙත සහ කිරි වෙහෙර විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා මා හට ලබා දී තිබූ ආරක්ෂාව ඉදිරියටත් ලබා දීමට කටයුතු කරන ලෙසට කාරුණිකව ඉල්ලා සිටිමි.
Related Recommends
Hiru TV News | Programmes