International21 January 2026

නගරවලට ඉහළින් 'ප්ලාස්ටික් වලාකුළු' මතුවෙයි - විද්‍යාඥයොත් පුදුම වෙලා



චීනයේ ප්‍රධාන නගර දෙකකට ඉහළින් ඇති වාතය පරීක්ෂා කිරීමේදී මුළු ලොවටම තර්ජනයක් වී ඇති විෂ සහිත මූලද්‍රව්‍යයක පැවැත්ම අනාවරණය වී තිබෙනවා.

ගුවැන්ග්ෂු සහ ෂියැන් යන නගරවල වායුගෝලයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් සහ නැනෝ ප්ලාස්ටික් කොතරම් විශාල ප්‍රමාණයක් පවතීද යත්, ඒවා මගින් ප්ලාස්ටික් වලාකුළු නිර්මාණය වීමට පවා පටන් ගෙන ඇති බවයි පර්යේෂකයෝ පවසන්නේ.

චීන විද්‍යා ඇකඩමියේ පර්යේෂකයන් විසින් මෙම නගරවලට ඉහළින් ඇති වායුගෝලයේ ඇති ප්ලාස්ටික් අංශු පරීක්ෂා කළා.

මෙම පර්යේෂණය සඳහා විද්‍යාඥයන් විසින් පරිගණක මගින් පාලනය වන නවීන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය තාක්ෂණයක් භාවිතා කර තිබුණා.

එහිදී හමු වූ තොරතුරු දැක ඔවුන් දැඩි ලෙස කනස්සල්ලට පත්ව ඇති අතර සිය සොයාගැනීම් පිළිබඳ 'Science Advances' සඟරාවේ පළවුණා.

මෙම අධ්‍යයනයට අනුව, වාතයේ පාවෙන ප්ලාස්ටික් අංශු සහ දූවිලි ප්‍රමාණය මීට පෙර දෘශ්‍ය ක්‍රම මගින් ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා දෙගුණයක සිට හය ගුණයක් දක්වා වැඩි බව නිරීක්ෂණය වී තිබෙනවා.

මෙයින් පෙනී යන්නේ ප්ලාස්ටික් දූෂණය අප සිතා සිටියාට වඩා බොහෝ ඉහළ මට්ටමක පවතින බවයි.

පසුගිය දශක දෙකක කාලය තුළ ප්ලාස්ටික් යනු පෘථිවියේ සෑම පාරිසරික පද්ධතියකටම පැතිර ගිය ගෝලීය ගැටලුවක්.

වාහන ධාවනය හේතුවෙන් පාරේ ඇති දූවිලි නිරන්තරයෙන් වායුගෝලයට එකතු වන අතර, එය මෙම ප්ලාස්ටික් අංශු වාතයට මුදා හැරෙන ප්‍රධාන මාර්ගයක් බව බ්‍රිතාන්‍යයේ 'The Independent' පුවත්පත වාර්තා කරනවා.

මෙම ප්ලාස්ටික් අංශු ඉතා කුඩා බැවින් ඒවා දිගු කාලයක් වායුගෝලයේ රැඳී පවතින අතර වලාකුළු සෑදීමට දායක වන බව සඳහන්.

මේවා වැසි ජලය සමඟ පොළොවට පතිත වන විට, ප්ලාස්ටික් මුලින් මුදා නොහළ ඉතා දුර බැහැර ප්‍රදේශ කරා ද පැතිර යන බවයි පර්යේෂකයෝ පෙන්වා දෙන්නේ.

මෙම පර්යේෂණයේදී නැනෝමීටර 200 තරම් කුඩා ප්ලාස්ටික් අංශු පවා හඳුනා ගැනීමට හැකි නවීන ක්‍රමවේදයක් භාවිතා කර තිබෙනවා.

මෙම ප්ලාස්ටික් අංශු ගෝලීය දේශගුණයට විශාල බලපෑමක් කරන්නේද යන්න මෙම අධ්‍යයනයෙන් තවමත් ස්ථිරව ප්‍රකාශ කර නැහැ.

එහෙත් වලාකුළු සෑදීමේදී ඒවා ප්‍රබල බලපෑමක් කරන බව අවධාරණය කෙරෙනවා.

මෙම සොයාගැනීම මගින් දේශගුණයට, පරිසර පද්ධතිවලට සහ මිනිස් සෞඛ්‍යයට ඇති විය හැකි බලපෑම් පිළිබඳව නව අවබෝධයක් ලබා දෙනවා.

ක්ෂුද්‍ර ප්ලාස්ටික් දැනටමත් සාගරවලට, අපගේ ආහාරවලට සහ මිනිස් සිරුරේ අවයව තුළට පවා ඇතුළු වී ඇති බවයි සොයාගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, වායුගෝලය තුළ මෙම ප්ලාස්ටික් අංශුවල ක්‍රියාකාරිත්වය පිළිබඳව තවමත් ඇත්තේ ඉතා අඩු අවබෝධයක්.
Related recommendation
Hiru TV News | Programmes