General29 January 2026

කැස්බෑව ආසනය 'පිංපොං'ට දුන්නෙ නෑ! - පොහොට්ටුව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) කැස්බෑව ආසන සංවිධායකවරයා ලෙස ජනප්‍රිය රංගන ශිල්පී රජිත හිරාන් (පිං පොං) පත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා එම පක්ෂය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කැස්බෑව ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක අජිත් නාරගල පවසන්නේ රජිත හිරාන්ගේ දේශපාලන පත්වීමක් සම්බන්ධයෙන් පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

අද (29) වැනිදා පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් කැස්බෑව පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයක් පවත්වා තිබුණා.

මෙම අවස්ථාවට දේශපාලනඥයන් මෙන්ම විශාල කලාකරුවන් පිරිසක් ද සහභාගී වුණා.

එහිදී රජිත හිරාන් අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තබන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වී තිබෙනවා.

එම ඡායාරූපය උපයෝගී කරගනිමින් ඔහු කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර ඇති බවට ඇතැම් පාර්ශ්ව වැරදි තොරතුරු ප්‍රචාරය කර තිබෙන බවයි සඳහන්.

පක්ෂයට සහය දක්වන ජනප්‍රිය චරිත අධෛර්යමත් කිරීමේ අරමුණින් මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරුවන බවත්, එවැනි ක්‍රියා පිළිගත නොහැකි බවත් අජිත් නාරගල වැඩිදුරටත් අවධාරණය ක‍රනවා.
Related recommendation
Hiru TV News | Programmes