General24 February 2026

කෙරවලපිටිය අධිවේගී පිවිසුමේ සිට ඇලකන්ද මාර්ගය දක්වා සංවර්ධනය කිරීමට පියවර

කෙරවලපිටිය කර්මාන්ත කලාපය තුළ පිහිටි අධිවේගී පිවිසුමේ සිට ඇලකන්ද මාර්ගය දක්වා වන මාර්ග කොටස සංවර්ධනය කිරීම කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් කෙරවලපිටිය ප්‍රදේශයේ සංවර්ධනය කරන ලද අක්කර 400ක පමණ භුමි ප්‍රමාණයක ලිට්‍රෝ ගෑස් සමාගම, ඛනිජ තෙල් පර්යන්ත සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය මෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘති ගණනාවක් ස්ථාපිත කරනු ලැබ ඇති.

අධිවේගී මාර්ගයට ප්‍රවේශයක් ලෙස භාවිත කරන එම කර්මාන්ත කලාපය මැදින් පිහිටා ඇති, කෙරවලපිටිය අධිවේගී පිවිසුමේ සිට ඇලකන්ද මාර්ගය දක්වා වන කිලෝමීටර 2.2ක් පමණ වන මාර්ග කොටස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් 2021 වර්ෂයේදී මාර්ග සංවර්ධන අධිකාරිය ආරම්භ කර ඇති නමුත්, මෙරට පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් එහි ඉදිකිරීම් කටයුතු අවසන් කර නොමැත.

මේ වන විට දැඩි ලෙස අබලන්ව පවතින එම මාර්ග කොටස කඩිනමින් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගෙන තිබෙනවා.

ඒ අනුව, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගෙන, එකී මාර්ග කොටස ගමනාගමනයට සුදුසු වන පරිදි කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමටත්, ඉන් අනතුරුව දීර්ඝකාලීන විසඳුමක් ලෙස එම මාර්ගය පුළුල් කිරීම සඳහා විධිමත් අධ්‍යයනයක් සිදු කර, මධ්‍ය කාලීන අයවැය රාමුව යටතේ වෙන් කරනු ලබන ප්‍රතිපාදන භාවිත කරමින් එම මාර්ග කොටස සංවර්ධනය කිරීමටයි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes