General20 April 2026

කල්පිටියේ ළඳු කැලෑවක සඟවා තිබූ බීඩි කොළ කිලෝ 1,300ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් තුන්සියයකට (1,300) අධික තොගයක් කල්පිටිය, කුඩාව ප්‍රදේශයේදී සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසනවා.

නාවික හමුදා බුද්ධි තොරතුරකට අනුව පසුගිය (18) වැනිදා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම වැටලීම සිදු කර තිබෙනවා.

වයඹ නාවික විධානයේ ‘ශ්‍රී ලංකා නාවික නෞකා විජය’ ආයතනය මඟින් ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමේදී, කුඩාව ප්‍රදේශයේ පිහිටි ළඳු කැලෑවක් පරීක්‍ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී ජාවාරම්කරුවන් විසින් ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ සැකකටයුතු උර 42ක් සොයාගත් අතර, ඒවා පරීක්‍ෂා කිරීමේදී බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1,302ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි නාවික හමුදාව පවසන්නේ.

මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන්නට ඇතැයි සැක කෙරෙන මෙම බීඩි කොළ තොගය, ජාවාරම්කරුවන් විසින් පසුව බෙදාහැරීමේ අරමුණින් මෙලෙස සඟවා තබන්නට ඇති බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.

නාවික හමුදා භාරයට ගත් මෙම බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes