General29 April 2026

ආහාර සුරක්ෂිතතාව ජාතික ආරක්ෂාවේ වැදගත් කොටසක්: අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

රටක ස්වෛරීත්වය හා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී ආහාර සුරක්ෂිතතාව යනු අතිශය වැදගත් සාධකයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

වත්මන් ලෝකයේ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ කෘෂිකර්මාන්තය දැඩි අභියෝගයකට ලක්ව ඇති බැවින්, රටේ ස්ථාවරත්වය උදෙසා ආහාර සුරක්ෂිතතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඇය අවධාරණය කළා.

අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියේ කෘෂිකර්ම සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල (IFAD) සහ ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන "සැප්" (SAPP) ජාතික තරුණ කෘෂි - ව්‍යාපාරික ප්‍රදර්ශනය හා සම්බන්ධතා සම්මේලනය අමතමින්.

මෙම උත්සවය බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී ඊයේ (28) පැවැත්වුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ කොවිඩ් වසංගතය මෙන්ම වත්මන් මැදපෙරදිග යුද ගැටුම් හමුවේ වුවද රටක ආහාර සුරක්ෂිතතාව බිඳවැටුණහොත් එය ආර්ථිකය අඩපණ වීමට සෘජුවම බලපාන බවයි.

"නායකයින් ගන්නා සුළු තීරණයක් මගින් වුවද සැපයුම් දාමය අවහිර විය හැකියි. එවන් අවස්ථාවක දේශීය නිෂ්පාදන ආර්ථිකය සවිබල ගැන්වීම අත්‍යවශ්‍යයි," යැයි ඇය පැවසුවා.

කෘෂිකර්මාන්තයට එල්ල වන දේශගුණික විපර්යාස පිළිබඳවද අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, පාරිසරික තත්ත්වයන් පුරෝකථනය කිරීම අපහසු වන පසුබිමක කෘෂි ව්‍යවසායකයින්ගේ කාර්යභාරය හුදු මුදල් ඉපයීමක් පමණක් නොවන බව සඳහන් කළා.

එය රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් සිදු කරන වැදගත් මැදිහත්වීමක් බවත්, තරුණ ව්‍යවසායකයින් "Grow and Sell" වැනි සංකල්ප ඔස්සේ නිෂ්පාදන ආර්ථිකයට දායක වීම අගය කරන බවත් ඇය කියා සිටියා.

මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, අමාත්‍යාංශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, SAPP ව්‍යාපෘති අධ්‍යක්ෂ සුනිමල් චන්ද්‍රසිරි ඇතුළු පිරිසක් සහභාගි වූණා.
Related recommendation
Hiru TV News | Programmes