General29 April 2026

දැරියක වාහනයක් තුළ අපයෝජනය කළැයි කියන ටියුෂන් ගුරුවරයෙක් සුඛෝපභෝගී මෝටර් රථයක් සමග දැලේ

පාසල් දැරියක අපයෝජනයට ලක් කළ බවට සැකපිට ලග්ගල, බකමූණ සහ නාවුල ප්‍රදේශවල ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙකු සුඛෝපභෝගී මෝටර් රථයක් ද සමඟ අද (29) දින අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය පවසනවා.

මෙම අපරාධය හෙළිදරව් වී ඇත්තේ මීට දින කිහිපයකට පෙර අදාල ගුරුවරයාට දැරියකගේ පියෙක් විසින් පහර දෙනු ලැබූ බවට ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමේදී බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ලග්ගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික පතිරාජට දැරිය ලබාදුන් ප්‍රකාශ පිළිබඳව සැක මතු වීම නිසා, සැකකරුගේ සහ දැරියගේ ජංගම දුරකථන පරීක්ෂාවට ලක් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී දැරියගේ අඩනිරුවත් ඡායාරූප ගුරුවරයා සමඟ හුවමාරු වී ඇති බවට තහවුරු කර ගැනීමත් සමඟ සිද්ධියේ සුලමුල අනාවරණය වී තිබුණා.

පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ, සැකකාර ගුරුවරයා සිය උපකාරක පන්තියට පැමිණෙන සිසු සිසුවියන් අතර ප්‍රේම සම්බන්ධතා ඇති කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි.

ඔහු දැරියන්ව නකල්ස් පරිසර පද්ධතියට සහ කඳු මුදුන්වල පිහිටි නැරඹුම් මධ්‍යස්ථාන වෙත සිය සුඛෝපභෝගී මෝටර් රථයෙන් රැගෙන ගොස්, එම වාහනය තුළදීම ඔවුන් අපයෝජනයට ලක් කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.

අපයෝජනයට ලක්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.

මෙම ගුරුවරයා තවත් දරුවන් අපයෝජනයට ලක් කර ඇත්දැයි සෙවීමට ලග්ගල පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද වාර්තා වෙනවා.
Related recommendation
Hiru TV News | Programmes