General03 May 2026

මාලදිවයිනේ ජනපති අද දිවයිනට: කොළඹ දින තුනක රථ වාහන සැලැස්මක්

මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු තුන් දින සංචාරයක් සඳහා අද (03) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ මොහොමඩ් මුයිසු 2023 වසරේ බලයට පත්වීමෙන් පසු සිදුකෙරෙන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය බවයි.

මාලදිවයිනේ ජනාධිපතිවරයා සමග ජනාධිපති ආර්යා සජිදා මොහොමඩ් හා විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු එරට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මෙම සංචාරයට එක්වනු ඇති.

මෙම සංචාරය අතරතුර දී දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මාලදිවයිනේ ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සමග ද්වීපාර්ශවික සාකච්ජා පැවැත්වීමට ද නියමිතයි.

විවිධ ක්ෂේත්‍ර වල සහයෝගීතාව පුලුල් කිරීම සඳහා දෙරටේ පොදු කැපවීම පිළිබිඹු කරමින් මෙම සංචාරය අතරතුරදී අවබෝධතා ගිවිසුම් කිහිපයක් ද අත්සන් කෙරෙනවා.

ඊට අමතරව මාලදිවයිනේ ජනාධිපතිවරයා කොළඹ විහාරමහාදේවී උද්‍යානය, ජාතික කෞතුකාගාරය, මාලදිවයිනේ තානාපති කාර්යාලය හා මාලදිවයිනේ සංස්කෘතික මධ්‍යස්ථානය වෙත ගමන් කිරීමට නියමිතයි.

මාලදිවයිනේ ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය හේතුවෙන් අද පස්වරුවේ සිට ලබන 6 වැනිදා දක්වා කොළඹ නගරය ආශ්‍රිතව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය ප්‍රකාශ කළා.

ඒ අනුව, කටුනායක අධිවේගී මාර්ගය මෙන්ම කොළඹ අවට බොරැල්ල, පුස්තකාල හන්දිය, ගාලුපාර, ගාලුමුවදොර වටරවුම, ජනාධිපති මාවත ඇතුළු මාර්ග කිහිපයක අදාළ අවස්ථාවල එම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කෙරෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.
Related recommendation
Hiru TV News | Programmes