General04 May 2026

රහස් පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයට - පරිගණක යන්ත්‍ර සහ විද්‍යූත් උපකරණත් පරීක්‍ෂා කරයි

මහා භාණ්ඩාගාරයේ ඇති ඉලෙක්ට්‍රොනික අයිතම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් පවසනවා.

ඒ අනුව, එහි පවතින පරිගණක, ලැප්ටොප් වර්ගයේ පරිගණක, දුරකථන, සිම් කාඩ්පත් ඇතුලු‍ ඉලෙක්ට්‍රොනික අයිතම පරීක්ෂාවට ලක්කරන බවයි හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ පරීක්ෂාවක් ආරම්භ කර ඇත්තේ මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2 යි දශම 5 ක මුදලක් තෙවැනි පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධියට අදාළවයි.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සියලු‍ අංශ ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

එමෙන්ම මහා භාණ්ඩාගාරයේ ආන්දෝලනාත්මක මුදල් ගනුදෙනුව සම්බන්ධයෙන් එළැඹෙන පාර්ලිමේන්තු සැසියේදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ විවෘත රැස්වීමක් කැඳවා විගණකාධිපතිවරයා සමග පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ෆ‍්‍රී ලෝයර්ස් සංවිධානය ඉල්ලීමක් කරනවා.

එම සංවිධානය අදාළ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී ඇත්තේ මේ පිළිබඳව එම මුදල් කාරක සභාවේ අවධානයට යොමු කළ ද එය මාසයකින් කල් දමා ගැනීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත අවස්ථාව ලැබී ඇති බවයි.

මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2. 5 ක මුදලක් තෙවැනි පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය පිළිබඳව කරුණු අනාවරණය වී මේ වනවිට සති දෙකක කාලයකට ආසන්න වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes