General04 May 2026

බලපත්‍ර රහිතව මැණික් ගැරූ හත් දෙනෙක් උපකරණ සමඟ කොටු

නොර්වුඩ් පොලිස් වසමට අයත් හළුවැල්ල ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මැණික් ගරමින් සිටි පුද්ගලයින් හත් දෙනෙක් උපකරණ ද සමඟ ඊයේ (03) අත්අඩංගුවට ගත් බව නොර්වුඩ් පොලිසිය පවසනවා.

නොර්වුඩ් පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායමකට ලද තොරතුරක් මත හළුවැල්ල ප්‍රදේශයේ සිදු කළ මෙම වැටලීමේදී, බලපත්‍රයක් නොමැතිව ඉතා සූක්ෂ්ම ලෙස මැණික් ගරමින් සිටි සැකකරුවන් පිරිස මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

ඔවුන් මැණික් ගැරීම සඳහා යොදාගත් විවිධ උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24 ත් 43 ත් අතර වයස්වල පසුවන පිරිසක් බව පොලිසිය පවසනවා.

මොවුන් නොර්වුඩ් සහ රත්නපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මැණික් ගැරීමට යොදාගත් උපකරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නොර්වුඩ් පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක වෙනවා.
Related recommendation
Hiru TV News | Programmes