General04 May 2026

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුලු සැකකරුවන්ට එරෙහි නඩුව අගෝස්තු 17 වැනි දා යළි කැඳවයි

පසුගිය 2022 වසරේ ජූලි මස 25 වනදා අරගලකරුවන්ට පහරදුන් බව කියන සිද්ධියේ හිටපු ඇමැති සනත් නිශාන්ත ඇතුලු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ ඇප නොදෙන ලෙස ඉල්ලමින් කොටුව අධිකරණය ඉදිරිපිට  උද්ඝෝෂණයක් සිදු කළ බවට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ, රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා ඇතුලු අයවළුන්ට එරෙහි නඩුව නීතිපති උපදෙස් සඳහා අගෝස්තු මස 17 යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (04) නියෝග කළා.

නඩුව කැඳවූ අවස්ථාවේදී කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නීතිපති උපදෙස් සදහා යොමු කර ඇතැයි දන්වා සිටියා.

පසුගිය නඩු දින අධිකරණය හමුවේ පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාගේ වෛද්‍ය සහතිකය නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළා.

මෙම සිද්ධිය කල් ගත වී ඇති සිද්ධියක් බවත් අරගලයට අදාළව පැවරූ බොහෝ නඩු අවසන් වී ඇති බවත් සැකකරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥවරුන් කියා සිටියා.

එහෙයින් සැකකරුවන් එම සිද්ධියෙන් මුදා හරින ලෙස නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

නඩු ගොනුව උපදෙස් සදහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව කී මහේස්ත්‍රාත්වරයා නීතිපති යොමු අංකය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති රංගනවේදිනී දමිතා අබේරත්න, ,ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින්, ධම්මික මුණසිංහ, තැම්පිටියේ ඤාණානන්ද, තැම්පිටියේ සුගතානන්ද  හිමි, සත්‍යවේල් පියතුමා ඇතුලු සැකකරුවන් අටදෙනා නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිටියා.
Related recommendation
Hiru TV News | Programmes