General04 May 2026

ඔටාවා 2026 මැයි මාසය “බෞද්ධ උරුම මාසය” ලෙස ප්‍රකාශයට පත් කරයි

කැනඩාවේ ඔටාවා අගනුවර නගරාධිපතිවරයා විසින් 2026 මැයි මාසය “බෞද්ධ උරුම මාසය” ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

ඔටාවා නගරාධිපති Mark Sutcliffe විසින් “එකට එක්වූ විශ්වීය අයත් වීමේ හැඟීමක් ගොඩනගමු” යන තේමාව යටතේ මෙම වැඩසටහන ආරම්භ කර ඇත.

මෙම අවස්ථාවේ ජාතික වැදගත්කම තහවුරු කරමින් කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි විසින්ද නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, බෞද්ධ උරුම මාසය සියලු කැනේඩියානුවන්ට බෞද්ධ ඉතිහාසය සහ සංස්කෘතිය පිළිබඳ ඉගෙන ගැනීමට වටිනා අවස්ථාවක් සපයන බවයි.

ශ්‍රී ලංකාවේ උපත ලැබූ විසිත සිරින් ලීලාරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද e-6893 පෙත්සම මගින් මෙම ඉල්ලීම මෙහෙයවා ඇති අතර, එයට 3,100කට අධික පිරිසක් අත්සන් තබා තිබේ.

මෙම පෙත්සම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී Jenna Sudds මහත්මිය අනුග්‍රහය දක්වා ඇත.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන වශයෙන් කටයුතු කළ ලීලාරත්න මහතා, “ඔබගේ කරුණාව මෙම දැක්ම සියලු කැනේඩියානුවන්ට යථාර්ථයක් බවට පත් කළේය” යනුවෙන් කෘතඥතාව පළ කළේය.

මෙම ප්‍රකාශයට පත්වීම ඔහුගේ දිගුකාලීන උත්සාහයක ප්‍රතිඵලයකි. ඔහු Vesak in Ottawa, Sirin Park Eco Tour සහ Buddhist Embassy Canada යන ආයතනවල නිර්මාතෘ සහ සභාපතිවරයාද වේ. මෙම අදහස මුලින්ම 2017දී කැනඩාවේ 150 වැනි සංවත්සරය සමයේදී ඉදිරිපත් කර තිබුණි.

දැනටමත් කැනඩාව තුළ හින්දු, සික්, ඉස්ලාම් සහ යුදෙව් ආගමික ප්‍රජාවන් සඳහා උරුම මාස පිළිගෙන ඇති අතර, බෞද්ධ උරුම මාසයක් ජාතික මට්ටමින් පිළිගැනීමත් සමඟ කැනඩාව එවැනි පිළිගැනීමක් ලබාදෙන ප්‍රථම රට විය හැකි බවද සඳහන් වේ.
Related recommendation
Hiru TV News | Programmes