General06 May 2026

'දිට්වා' ආධාර මුවාවෙන් ලක්ෂ ගණනින් වංචා කළ අයෙක් රිමාන්ඩ්

හිමිවරුන් දෙනමකගේ සම්බන්ධයක් ගැනත් සැක - මුදල් කැසිනෝ ගිණුම්වලට

'දිට්වා' සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට ආධාර ලබාදෙන බව පවසා බලශක්ති අමාත්‍යවරයා සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ලෙස පෙනී සිටිමින් වංචනික ලෙස මුදල් රැස්කළ බව කියන පුද්ගලයෙකු ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (06) නියෝග කළා.

වංචාව සිදු කළ ආකාරය මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ සුදේශ් නලින්ද අල්විස් නමැත්තෙක්.
සැකකරු ව්‍යාජ ලේඛන සකස් කරමින් අමාත්‍යවරුන්ගේ නම භාවිත කර මෙරට සහ ඩුබායි රාජ්‍යයේ සිටින ව්‍යාපාරිකයන්ගෙන් ආධාර එකතු කර ඇති බව කොළඹ පරිගණක අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නා.

සැකකරු කැසිනෝ ක්‍රීඩාවල නිරත වන්නෙකු බවත්, වංචනික ලෙස ලබාගත් මුදල් ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුම්වලට සහ කැසිනෝ ගිණුම්වලට බැර වී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අධිකරණයේදී කරුණු හෙළිවුණා.

දැනට ලැබී ඇති තොරතුරු අනුව රුපියල් ලක්ෂ පහක මුදලක් සැකකරු ලබාගෙන ඇති අතර, තවත් ව්‍යාපාරිකයන් රැසකගෙන් මුදල් ලබාගැනීමට කටයුතු කර ඇති බව පොලිසිය පැවසුවා.

මෙම මහා පරිමාණ වංචාව සඳහා හිමිවරුන් දෙදෙනෙකුගේ සම්බන්ධතාවක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් පවත්වන බව ද පරිගණක අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ කියා සිටියා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළේ තම සේවාදායකයා කිසිදු මුදලක් ලබාගෙන නොමැති බවයි.
එමෙන්ම සාක්ෂිවලට බලපෑම් කිරීමට සැකකරුට හැකියාවක් නොමැති බැවින් ඔහු ඇප මත මුදාහරින ලෙස නීතිඥවරයා ඉල්ලා සිටියද, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.
Related recommendation
Hiru TV News | Programmes