General06 May 2026

නැගණියට හිරිහැර කළ පුද්ගලයකුට ඇසිඩ් ගැසූවැයි සහෝදරියක් අත්අඩංගුවට

තම බාල සහෝදරිය සමඟ නිතර ආරවුල් ඇති කරගනිමින් ඇයට හිරිහැර කළ බව කියන පුද්ගලයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කළ කාන්තාවක ඊයේ (05) අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ හොරණ, ඉළිඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා සැකකාර කාන්තාවගේ බාල නැගණිය සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති අතර, ඔහු නිතර නිතර ඇය හමුවීමට නිවසට පැමිණෙන අයෙකු බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ති‍බෙනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව කියන මෙම පුද්ගලයා නිවසට පැමිණෙන බොහෝ අවස්ථාවලදී නැගණිය සමඟ ආරවුල් ඇති කරගෙන ඇති බව වාර්තා වෙනවා.

පසුගිය 29 වැනිදා ද මෙම පුද්ගලයා නිවසට පැමිණ නැගණියට බරපතල ලෙස හිරිහැර කර ඇති අතර, එහිදී එය ඉවසාගත නොහැකි වූ වැඩිමහල් සහෝදරිය (සැකකාරිය) ඔහුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය පවසනවා.

ප්‍රහාරයෙන් තුවාලකරුගේ වම් ඇසට බරපතල හානි සිදුව ඇති අතර ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ඇස් වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව හොරණ මූලස්ථාන පොලිසිය විමර්ශන පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රංග පෙරේරාගේ මෙහෙයවීමෙන්, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංග දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Related recommendation
Hiru TV News | Programmes