General23 May 2026

දික්ඔය ද්විත්ව ඝාතනයේ සැකකරු පවුම් 18ක රන් බඩුත් එක්ක අල්ලයි

හැටන් දික්ඔය නගරයේ වෙළඳසැලක් තුළදී අඹුසැමි යුවලක් තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර, පවුම් 18ක ස්වර්ණාභරණ කොල්ලකා පලා ගිය ප්‍රධාන සැකකරු අද (23) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර පවසනවා.

බගවන්තලාව පොලිස් වසමට අයත් පෙට්‍රසෝ තේ වත්තේ පිහිටි නිවසක සැඟව සිටි මෙම සැකකරු පොලිසියට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සොරකම් කරන ලද පවුම් 18ක ස්වර්ණාභරණ තොගයද සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගැනීමට හැකි වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ අත්අඩංගුවට පත් සැකකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු දික්ඔය ප්‍රදේශයෙන් විවාහයක් කරගෙන සිටි අයෙකු බවයි.

ඝාතනයෙන් පසු ඔහු මුහුණු පොත (Facebook) ඔස්සේ හඳුනාගත් කාන්තාවකගේ බගවන්තලාව ප්‍රදේශයේ පිහිටි නිවසකට පැමිණ මෙසේ සැඟව සිට තිබෙනවා.

මේ අතර, ඝාතනයට ලක් වූ අඹුසැමි යුවළගේ දේහයන් මේ වන විට ඔවුන් පවත්වාගෙන ගිය වෙළඳසැලේම තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට (24) දින දික්ඔය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes