General28 May 2026

යතුරුපැදි අනතුරුවලින් තිදෙනෙක් ජීවිතක්ෂයට

දිවයිනේ විවිධ ප්‍රදේශවල ඊයේ (27) දිනය තුළ සිදු වූ යතුරුපැදි අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

මෙලෙස යතුරුපැදි අනතුරු වාර්තා වී ඇත්තේ මඩකලපුව, බිංගිරිය සහ පොලොන්නරුව යන පොලිස් වසම්වලින් බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

මඩකලපුව පොලිස් වසමේ මඩකලපුව - තිරුපන්තුර අතුරු මාර්ගයේ, ගුවන් හමුදා කඳවුර ආසන්නයේදී ඊයේ (27) සවස සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේනවා.

තිරුපන්තුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කලපුවට පෙරළී මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක්.

මඩකලපුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

බිංගිරිය පොලිස් වසමේ අළුපොත - අකරවත්ත මාර්ගයේ, හමන්නාපහුව ප්‍රාථමික විද්‍යාලය ආසන්නයේදී ඊයේ (27) දහවල් සිදුවූ අනතුරින් පැදිකරු සහ පසුපැදිකරු කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී පැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දළුපොත දෙසට ධාවනය වූ එම යතුරුපැදිය පැදිකරුට පාලනය කරගත නොහැකිව, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෙනත් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් මියගොස් ඇත්තේ නාගොල්ලාගොඩ ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි අයෙක්.

මෘත ශරීරය කුලියාපිටිය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බිංගිරිය පොලිසිය විමර්ශන සිදු කරනවා.

මේ අතර ඊයේ සවස (27) පොලොන්නරුව පොලිස් වසමේ දිවුලාන අතුරු මාර්ගයේදී ද යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් පැදිකරු මියගොස් තිබෙනවා.

දිවුලාන දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව තිබුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඕනෑගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි වියේ පසුවූ තරුණයෙක්. පොලොන්නරුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Related recommendation
Hiru TV News | Programmes