General31 May 2026

පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීමේ අතිනවීන මැමෝග්‍රැෆි යන්ත්‍ර 05 ක් රෝහල් පහකට

කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන පියයුරු පිළිකා සහ පියයුරුවල ඇති වන වෙනත් අසාමාන්‍ය ගැටිති හෝ වෙනස්කම් ඉතා මුල් අවධියේදීම හඳුනා ගැනීම සහ පසු ප්‍රතිකාර සේවා සඳහා භාවිතා කරනු ලබන අතිනවීන මැමෝග්‍රැෆි යන්ත්‍ර (Mammography Machines) 05 ක් දිවයිනේ ප්‍රධාන රෝහල් 05 ක් වෙත ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නංවමින් ජනතාවට ලබාදෙන ප්‍රතිකාර සේවාවන් විධිමත් හා වඩා කාර්යක්ෂමව සිදු කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ මෙම පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

මෙම එක් මැමෝග්‍රැෆි යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියන 153 ක් වන අතර උපකරණවල සමස්ත මුළු වටිනාකම රුපියල් මිලියන 765 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (HSEP) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන සපයා ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, කොළඹ ජාතික රෝහල, ගාල්ල කරාපිටිය ජාතික රෝහල, නුවර ජාතික රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල සහ අපේක්ෂා රෝහල යන පිළිකා ප්‍රතිකාර සේවාවන් සිදු කරනු ලබන ප්‍රධාන රෝහල් පහේ රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා මෙම නව මැමෝග්‍රැෆි යන්ත්‍ර ලබාදීමට නියමිතව තිබෙනවා.

මීට අමතරව, පවතින හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල් දෙක සඳහා ද භාවිතා කරන ලද මැමෝග්‍රැෆි යන්ත්‍ර දෙකක් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.

දැනට ගාල්ල කරාපිටිය ජාතික රෝහල, කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, රාගම ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, පොළොන්නරුව මහ රෝහල, කුරුණෑගල මහ රෝහල, බදුල්ල ශික්ෂණ රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල, කල්මුණේ රෝහල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල ඇතුළු දිවයින පුරා රෝහල්වල මැමෝග්‍රැෆි යන්ත්‍ර 16 ක් සක්‍රීය සේවයේ යොදවා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මෙම නව යන්ත්‍ර ද එක්වීමත් සමඟ මෙරට සක්‍රීය මැමෝග්‍රැෆි යන්ත්‍ර සංඛ්‍යාව 23 දක්වා ඉහළ යනු ඇති.
Related recommendation
Hiru TV News | Programmes