General31 May 2026

කළුතර දිසා වන කාර්යාලයේ ආරක්ෂකයාට ගල් ගසා තුවාල කළැයි පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

කළුතර දිසා වන නිලධාරි කාර්‍යාලයේ රාත්‍රී සේවයේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියකුට පහර දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් දකුණු කළුතර පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ තිනියාවල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන 51 හැවිරිදි වියේ පසු වන පොලිස් කොස්තාපල්වරයෙක්.

ඉකුත් 29 වැනිදා රාත්‍රී 10.30 ට පමණ මොහු දිසා වන කාර්‍යාලයේ සේවයේ යෙදෙමින් සිටි ආරක්ෂක නිලධාරියාට ගල් මුල්වලින් පහරදී තුවාල කළ බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරු මත පරික්ෂණ පවත්වා සැකකරු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ එච්.ඒ. රත්නපාල යන අය 1990 සුවසැරිය ගිලන් රථ සේවය මගින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මීට පෙරද අවස්ථා කීපයකදීම සැකකාර පොලිස් කොස්තාපල්වරයා කළුතර දිසා වන කාර්‍යාලයීය නිලධාරීන් සමග ආරාවුල් ඇති කරගෙන ඇති අතර එම පැමිණිලි පොලිසියේදී සමථ කරගෙන ඇතැයි පොලිසිය පවසනවා.

කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකරගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙනවා.
Related recommendation
Hiru TV News | Programmes