General04 June 2026

වාද්දුවේදී ලොරියක් දුම්රියේ ගැටී ලොරි රියැදුරු රෝහලට


මරදාන සිට අළුත්ගම බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක, වාද්දුව පල්ලියමංකඩ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී කුඩා ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව වාද්දුව පොලිසිය පවසනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී ලොරි රථය ගාලු පාර දෙස සිට මුහුදුබඩ දෙසට ගමන් කරමින් තිබී ඇති බවද පොලිසිය සඳහන් කරනවා.

මෙම අනතුරෙන් ලොරි රථයේ රියැදුරු සුළු තුවාල ලබා ඇති අතර, ඔහු පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව ද පොලිසිය පවසනවා.

ප්‍රදේශවාසීන් පවසන පරිදි අනතුර සිදුවූ මෙම දුම්රිය හරස් මාර්ගය කිසිදු වර්ණ සංඥා පද්ධතියකින් හෝ ගේට්ටුවකින් ආරක්ෂා කර නොමැති අතර, එය දිනපතා වාහන සහ ජනතාව ගමන් ගන්නා ඉතා කාර්යබහුල ස්ථානයක්.

එමෙන්ම, මෙම ස්ථානයේ දුම්රිය මාර්ගය පැහැදිලිව නොපෙනෙන සේ අවට ඉදිකිරීම් රැසක් පවතින බවත්, මේ පිළිබඳව වගකිවයුතු බලධාරීන් දැනුවත් කළ ද ඔවුන් ඒ කෙරෙහි කිසිදු සැලකිල්ලක් දක්වා නොමැති බවත් ජනතාව දැඩි කනස්සල්ලෙන් යුතුව කියා සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Related recommendation
Hiru TV News | Programmes