General04 June 2026

සුරේෂ් සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමේ නියෝගය ලබන 10 දා

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා නීතිපතිවරයා විසින් කළ ඉල්ලීමක් පිළිබඳ නියෝගය ලබන 10 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (04) දැනුම් දුන්නා.

මහේස්ත්‍රාත්වරයා මෙලෙස දැනුම් දුන්නේ, සුරේෂ් සලේ වෙනුවෙන් ජනාධිපති නිතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු ඉදිරිපත් කළ මෝසමක් අද (04) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීයි.

රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේස් සලේගේ සෞඛ්‍ය තත්වය ගැන පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා මගින් විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ අතිරේක සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එසේම සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයා රැදවුම් භාරයට පත්වීමෙන් පසු සංකාව, විශාදය යන රෝගී තත්ත්වයෙන් පෙළෙන බැවින් සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවයක් ඇති බවත් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය සුදුසු පරිසරයක් ලබා දෙන ලෙසත් යන්නයි.
Related recommendation
Hiru TV News | Programmes