General04 June 2026

මහනුවර ලංගම සේවකයින්ගේ ව්‍යාජ වෛද්‍ය සහතික ජාවාරමක් හෙළි වෙයි

විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිල මුද්‍රාව හා අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින්, අසනීප නිවාඩු ලබා ගැනීම සඳහා ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) මහනුවර ප්‍රාදේශීකයට අයත් රියදුරන්, කොන්දොස්තරවරුන් සහ කාර්මික සේවකයින් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම ව්‍යාජ වෛද්‍ය සහතික ජාවාරම අනාවරණය වී ඇත්තේ, තෙල්දෙණිය ලංගම ඩිපෝවේ සේවකයින් පිරිසක් ඉදිරිපත් කළ වෛද්‍ය සහතික පිළිබඳව ඇති වූ සැකයක් මත වන අතර, ඒ අනුව තෙල්දෙණිය ඩිපෝ කළමනාකාරවරයා විසින් එම වෛද්‍ය සහතිකවල සත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂවරිය වෙත ලිපියක් යොමු කරමින් කළ විමසීමකදී මෙම තොරතුරු හෙළිවී තිබෙනවා.

එහිදී, අදාළ වෛද්‍ය සහතිකවල නම සඳහන් විශේෂඥ වෛද්‍යවරයා මහනුවර ජාතික රෝහලේ සැබවින්ම සේවය කරන අයෙකු වුවද, එහි ඇති අත්සන සහ නිල මුද්‍රාව එම වෛද්‍යවරයාගේ නොවන ව්‍යාජ ඒවා බව රෝහල් අධ්‍යක්ෂවරිය ඩිපෝ කළමනාකාරවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.

එමෙන්ම, අදාළ වෛද්‍ය සහතික අතර මහනුවර ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ (OPD) සේවය කරන බව ඇඟවෙන වෛද්‍ය නිලධාරීන් දෙදෙනෙකුගේ නමින් නිකුත් කළ සහතික ද තිබී ඇති අතර, එම නම්වලින් යුත් කිසිදු වෛද්‍යවරයෙකු මහනුවර ජාතික රෝහලේ සේවය නොකරන බව රෝහල් බලධාරීන් විසින් දැනුම් දී තිබෙනවා.

මෙම ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කිරීමේ ජාවාරම තෙල්දෙණිය ඩිපෝවට පමණක් සීමා වී නොමැති අතර, මහනුවර දකුණු ඩිපෝව ඇතුළු ප්‍රදේශයේ ඩිපෝ කිහිපයකින්ම මෙවැනි ව්‍යාජ සහතික ඉදිරිපත් කර ඇති බව ලංගම මහනුවර ප්‍රාදේශීය කළමනාකාර ප්‍රසන්න දෙල්අංග සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් අභ්‍යන්තර විමර්ශනයක් අරඹා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත ද නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes