International05 June 2026

ලෙබනන් සටන් විරාමය ත්‍රස්ත සංවිධානයක් ප්‍රතික්ෂේප කරයි

ඉරානයේ සහය ලබන හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම ලෙබනනයේ නව සටන් විරාමයක් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඊශ්‍රායලය ප්‍රකාශ කළේ තමන් එරටින් තම හමුදා ඉවත් කර නොගන්නා බවයි.

මේ හේතුවෙන්, ටෙහෙරානය (ඉරානය) සමග සාමය ඇති කර ගැනීම සඳහා ලෙබනනයේ පවතින සටන් නැවැත්වීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දරන උත්සාහයන්ට බාධා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

වොෂින්ටනය සමග ඕනෑම සාම ගිවිසුමකට එළඹීම සඳහා ලෙබනනයේ සටන් විරාමයක් ඇති කිරීම ඉරානය කොන්දේසියක් කර ගෙන ඇති අතර, ඊශ්‍රායලය එහි ප්‍රහාර දිගටම කරගෙන ගියහොත් තමන්ට සෘජුවම මැදිහත් විය හැකි බව ද ඉරානය පසුගිය දිනවල ඉඟි කර තිබුණා.

කෙසේ වෙතත්, ඊශ්‍රායලය සහ ලෙබනන් රජය අතර සටන් නැවැත්වීම සඳහා අමෙරිකාවේ මැදිහත් වීමෙන් ඇති කරගත් ගිවිසුම, හිස්බුල්ලා නායක නයිම් කාසෙම් (Naim Qassem) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

හිස්බුල්ලා සංවිධානය මෙම සාකච්ඡා සඳහා පාර්ශවකරුවෙකු වී නොතිබූ අතර, මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලය, ලෙබනනය හෝ අමෙරිකාවෙන් මෙතෙක් ක්ෂණික ප්‍රතිචාරයක් ලැබී නොමැත.

ඊශ්‍රායලය දකුණු ලෙබනනයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කළ අතර, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් (Israel Katz) කියා සිටියේ, ඉරාන යුද්ධයට සමගාමීව පසුගිය මාර්තු මාසයේදී තමන් ආක්‍රමණය කළ එම ප්‍රදේශයෙන් ඊශ්‍රායල හමුදා ඉවත් කර නොගන්නා බවත්, එරට තුළ සිදුකරන මෙහෙයුම් අත්හිටුවන්නේ නැති බවත්.

1982 වසරේදී හිස්බුල්ලා සංවිධානය නිර්මාණය කිරීමට කටයුතු කළ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ 'කුද්ස්' (Quds) බලකායේ අණදෙන නිලධාරියා ප්‍රකාශ කළේ, ඊශ්‍රායලය අවම වශයෙන් මෙම යුද්ධය ආරම්භ වීමට පෙර පැවති ස්ථාන දක්වා හෝ පසුබැසිය යුතු බවයි.
Related recommendation
Hiru TV News | Programmes