General06 June 2026

සේප්පුවේ යතුරත් අරන් පලාගිය වැලිකඩ පොලිස් සැරයන්ගේ වැඩ තහනම්

නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ ගණකාධිකාරීවරයා සහ නිලධාරීන් සේප්පුවේ මුදල් සහ මුදල් පොත් පරීක්ෂා කිරීමට වැලිකඩ පොලිසිය වෙත පැමිණෙන අවස්ථාවේදී සේප්පුවේ යතුරත් රැගෙන පොලිස් ස්ථානයෙන් පලාගිය පොලිස් සැරයන්වරයාගේ රාජකාරී තහනමට ලක්කළ බව පොලිස් මුලස්ථානය පවසනවා.

මෙලෙස වැඩ තහනමට ලක්කර ඇත්තේ වැලිකඩ පොලිසියේ පාලන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයකුගේ බව සඳහන්.

නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණියගේ නියෝග පරිදි නුගේගොඩ කොට්ඨාසයේ ගණකාධිකාරීවරයා සහ එම කාර්යාගේ නිලධාරීන් ඉකුත් 03 වැනිදා වැලිකඩ පොලිසියේ මුදල් පොත් පරීක්ෂා කිරීමට පැමිණෙන බව දැන දැනම මුදල් සේප්පුවේ යතුරද රැගෙන ඔහු අවසරයකින් තොරව පිටව ගොස් තිබු බව වාර්තා වනවා.

අනතුරුව සැරයන්වරයා පසුදින පොලිස් ස්ථානයට පැමිණ ඇති අතර පොලිස් නිලධාරීන්ගේ රුපියල් 161.245ක ත්‍යාග මුදල මුදල් සේප්පුවේ නොමැතිව වෙනත් කාමරයක අල්මාරියක තබා තිබී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.

සැරයන්වරයා විසින් සේප්පුවේ බහා තැබිය යුතු රජයේ මුදල් අවසරයකින් තොරව වෙන ස්ථානයක තැබීම සම්බන්ධයෙන් සහ විමර්ශන අතරතුර නොදන්වා පොලිස් ස්ථානයෙන් පිටව යාම නිසා එම වැඩ තහනම සහකාර පොලිස් අධිකාරී (03) බි. එල්. ඒ. ප්‍රසන්න විසින් සිදුකළ බවද පොලිස් මුලස්ථානය සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes