General08 June 2026

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේට එරෙහිව සිදුවන බව පැවසෙන කෲර සහ අමානුෂික සැලකීම්වලට විරෝධය පළ කරමින් අද (08) අඛන්ඩ සත්‍යග්‍රහය ආරම්භ වුණා.

ඒ විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක මූලිකත්වයෙන් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදීයි.

මෙම අවස්ථාව සඳහා විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල ප්‍රමුඛ පෙළේ නායකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නියෝජිතයින් විශාල පිරිසක් එක්ව සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ ඊයේ (07) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

සුරේෂ් සලේගේ නීතිඥ අසිත් සිරිවර්ධන පැවසුවේ, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙලෙස රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බවයි.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මේ වනවිට පසුවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේයි.

ඔහු වධ හිංසාවට භාජනය වී තිබෙන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස සියදිවි නසා ගැනීමේ සම්භාවිතාව උග්‍ර වී තිබෙන බවත් ඔහුගේ නීතිඥවරුන් පසුගියදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා සිටියා.
Related recommendation
Hiru TV News | Programmes