General10 June 2026

ඇත්දළ ජෝඩුවක් සහ බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

පොළොන්නරුව, වැලිකන්ද, වඩමුනේ පාලම අසලදී වටිනා ඇත් දළ ජෝඩුවක් සහ බෙහෙත් කොටන තුවක්කුවක් ද සමඟ පුද්ගලයෙක් ඊයේ (09) රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාලච්චේන, ජයන්තියාය, පූනානී ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙම ඇත්දල ජෝඩුව සහ මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුව සූක්ෂම ආකාරයෙන් පොහොර උරයක දමා වැලිකන්ද ප්‍රදේශයට රැගෙන එමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බවයි පොලිසිය පවසන්නේ.

මෙම පුද්ගලයා විසින් ඇතෙක් මරා ඇත්දල ජෝඩුව ගලවාගෙන ඇත්ද, එසේ නොමැතිනම් ඇත්දල ජෝඩුව වෙනත් පුද්ගලයෙකුගෙන් ලබාගෙන අළෙවි කිරීමට රැගෙන යමින් තිබුණේ ද යන්න පිළිබඳව විමර්ශන කටයුතු සිදුකරනු ලබන බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අද (10) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද වැලිකන්ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.පී.ජේ කුමාරසිංහ ඇතුළු නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනවා.
Related recommendation
Hiru TV News | Programmes