General11 June 2026

''ගත්ත ණය ට්‍රිලියන ගණන් පෙනුනට රටේ ණය බර දැන් අඩුවෙලා'' - මාලිමා මන්ත්‍රීනි ලක්මාලිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රමාණය දෙස ට්‍රිලියන හෝ බිලියන ගණන්වලින් පමණක් බලා ණය වැඩි වී ඇති බවට තීරණය කළ නොහැකි බවත්, රටේ සමස්ත ණය බර මේ වන විට දරාගත හැකි මට්ටමකට ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර පවසනවා.

පාර්ලිමේන්තුව අමතමින් ඇය කියා සිටියේ, ණය මඟින් ආර්ථිකය මත ඇති කරන සැබෑ බර තීරණය වන්නේ 'දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය ප්‍රතිශතය' (Debt-to-GDP Ratio) මත පමණක් බවයි. ඒ අනුව 2024 වසරේ සියයට 95.5ක් ලෙස පැවති ලංකාවේ ණය තිරසාරකරණ දර්ශකය 2025 වසර වන විට සියයට 91.6 දක්වා පහත වැටී ඇති අතර, ඩොලර්වලින් ගෙවීමට ඇති බාහිර ණය (Exteal Debt) ප්‍රතිශතය ද සියයට 155.4 සිට සියයට 150.4 දක්වා සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා.

2015 සිට 2019 දක්වා පැවති යහපාලන රජය සමයේ ණය-දළ දේශීය නිෂ්පාදිත ප්‍රතිශතය සියයට 73 සිට සියයට 82 දක්වා අතිවිශාල ලෙස ඉහළ නංවමින්, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) හරහා අධික පොලියට වාණිජ ණය ලබාගෙන අයවැය හිඟය පියවූ බවට ඇය මෙහිදී චෝදනා කළා.

කෙසේ වෙතත්, පසුගිය වසර එකහමාරක කාලය තුළ වත්මන් රජය ණය සේවනය සඳහා වන පොලී පිරිවැය සාර්ථකව පාලනය කර ඇති බවත්, මහා බැංකු වාර්තාවලට අනුව භාණ්ඩාගාරය විසින් මුදල් සංචිත නඩත්තු කිරීම සහ පොලී අනුපාත කළමනාකරණය කිරීම මීට ප්‍රධාන හේතුව වී ඇති බවත් ඇය පෙන්වා දුන්නා.

ඒ අනුව 2032 වසර සඳහා අපේක්ෂා කළ සියයට 95ක ණය ඉලක්කය ශ්‍රී ලංකාව දැනටමත් සපුරා ගැනීමට සමත්ව ඇතැයි ද මන්ත්‍රීවරිය වැඩිදුරටත් අවධාරණය කළා.
Related recommendation
Hiru TV News | Programmes