General12 June 2026

දකුණු කොරියාවේ හිටපු ජනපතිට වසර 30 ක සිරදඬුවමක්

උතුරු කොරියාව වෙත ඩ්‍රෝන යානා යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක්-යෙයෝල්හට එරට අධිකරණයක් විසින් වසර 30 ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

පැමිණිලි පාර්ශවය නිතීඥයින් තර්ක කළේ, ප්යොන්ග්යෑන්ග් පාලනය (උතුරු කොරියාව) කුපිත කරවීම සහ එම වසරේම අගභාගයේදී තමන් දියත් කළ, පසුව අසාර්ථක වූ යුද නීති ප්‍රකාශනය සඳහා පදනමක් (නිදහසට කරුණක්) නිර්මාණය කරගැනීමේ අරමුණින් යූන් විසින් 2024 ඔක්තෝබර් මාසයේදී මෙම මෙහෙයුම සඳහා නියෝග කර ඇති බවයි.

දෙසැම්බර් 3 වන දින යූන් යුද නීතිය ප්‍රකාශයට පත් කරන විට ඔහු කියා සිටියේ, උතුරු කොරියාවට පක්ෂපාතී "රාජ්‍ය විරෝධී" බලවේගවලින් රට ආරක්ෂා කරන බවයි. නමුත් පසුව එය ඔහුගේ දේශීය දේශපාලන අර්බුද හේතුවෙන් සිදු වූවක් බව පැහැදිලි වූ අතර, රට තුළ මතු වූ දැවැන්ත මහජන විරෝධතා හමුවේ ඔහුට එම නියෝගය ඉල්ලා අස්කර ගැනීමට සිදු වුණා.

අසාර්ථක වූ යුද නීති ප්‍රකාශනය හරහා සිදුකළ රාජ්‍ය විරෝධී කැරලි ගැසීමේ (insurrection) චෝදනාවට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වීමෙන් පසු, දෝෂාභියෝගයකට ලක් වූ යූන් මේ වන විටත් බන්ධනාගාරගතව පසුවෙනවා.

සිකුරාදා දින, සෝල් දිස්ත්‍රික් අධිකරණය විසින් හිටපු ජනාධිපති යූන් මෙන්ම ඔහුගේ හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් යොන්ග්-හ්යුන් (Kim Yong-hyun), ආරක්ෂක ප්‍රති-බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී යෝ ඉන්-හ්යුන් (Yeo In-hyung) සහ ඩ්‍රෝන මෙහෙයුම් බළකායේ හිටපු ප්‍රධානී කිම් යොන්ග්-ඩේ (Kim Yong-dae) යන අය රාජද්‍රෝහී වීම සහ බලය අනිසි ලෙස භාවිතා කිරීමේ චෝදනාවලට වැරදිකරුවන් බව ප්‍රකාශ කළා.

ඒ අනුව, හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් හට වසර 30 ක සිරදඬුවමක් ද, යෝ හට වසර 15 ක සිරදඬුවමක් ද නියම වූ අතර, කිම් යොන්ග්-ඩේ හට වසර පහක අත්හිටවූ සිරදඬුවමක් සහිතව වසර තුනක සිරදඬුවමක් නියම වුණා.

"විත්තිකරුවන් හදිසි තත්වයක් නිර්මාණය කිරීමේ අරමුණින්, මිලිටරි මෙහෙයුමක මුවාවෙන් උතුරු කොරියාව කුපිත කරවීමට කටයුතු කර තිබෙනවා," යැයි අධිකරණය ප්‍රකාශ කළා.

එමෙන්ම, මෙම නිලධාරීන් තිදෙනාම "උතුරු කොරියාව කුපිත කරවීම" මගින් "හමුදාමය ගැටුමක අවදානම ඉහළ නැංවූ" බව පෙන්වා දුන් අධිකරණය, කෙසේ වෙතත් මෙම සමස්ත සිදුවීමේ "ප්‍රධානතම වගකීම" යූන් සතු වන බව නිගමනය කරනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes