General12 June 2026

පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප යොදාගනිමින් සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට - පොලීසියෙන් දැනුම්දීමක්

පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප සහ ව්‍යාජ ලේඛන උපයෝගී කරගනිමින්, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුකරනු ලබන මූල්‍ය වංචාවන්වල කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, වංචනික පුද්ගලයින් විසින් පරිගණක සහ ජංගම දුරකථන යොදාගනිමින් ව්‍යාජ WhatsApp සහ Telegram ගිණුම් සකස් කර මෙම ජාවාරම මෙහෙයවන බවයි. මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත විමර්ශන සිදුකර සැකකරුවන් රැසක් දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හෝ පොලිස් විමර්ශන ඒකක ලෙස හඳුන්වා දෙමින් කාර්යාලීය හෝ පෞද්ගලික දුරකථනවලට ඇමතුම් ලබා දීම, "ඔබේ ජාතික හැඳුනුම්පත යොදාගෙන වංචාවක් කර ඇත", "නොදන්නා ප්‍රදේශයකින් බැංකු කාඩ්පතක් ගෙන ගෙවීම් පැහැර හැර ඇත" හෝ "ඔබේ ගිණුම කළු සල්ලි ජාවාරම් (Money Laundering) සඳහා යොදාගෙන ඇති බැවින් නඩු පවරනවා" යැයි පවසා බිය ගැන්වීම,වැනි ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිසිය පවසන්නේ.

එමෙන්ම රහසිගත විමර්ශනයක් සිදුකරන බව පවසා, උදව් කිරීමට යැයි අඟවමින් ව්‍යාජ නිල ලාංඡන, ලිපි ලේඛන සහ පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප WhatsApp හරහා යොමු කිරීමද සිදුකරන බව සඳහන්.

සමාජ මාධ්‍ය හරහා එවනු ලබන රාජ්‍ය ලාංඡන සහිත ලේඛන දුටු වහාම ක්‍රියාත්මක නොවී, ළඟම ඇති පොලිස් ස්ථානයට ඒ පිළිබඳව දැනුම් දෙන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ශ්‍රී ලංකා පොලීසිය කිසිදු විමර්ශනයක් සඳහා මහජනතාවගෙන් මුදල් අය නොකරන අතර, මෙවැනි වංචනිකයින් පිළිබඳව තොරතුරු ඇත්නම් පහත දුරකථන අංක ඔස්සේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

අධීක්ෂණ නිලධාරීන්: 071-8592918 / 071-8591765

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය: 011-2300756

මීට අමතරව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණ ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කිරීමට ද මහජනතාවට අවස්ථාව පවතිනවා.
Related recommendation
Hiru TV News | Programmes