International13 June 2026

ගෝලීය අර්බුද හමුවේත් ඉන්දියාව පෙරට: 7.7%ක ආර්ථික වර්ධනයක් සමඟ ලොව වේගවත්ම ප්‍රධාන ආර්ථිකය ලෙස ස්ථාවර වෙයි

මැදපෙරදිග කලාපයේ පවතින භූ-දේශපාලනික ආතතීන්, ඉහළ ගිය බොරතෙල් මිල, ඉන්දීය රුපියල අවප්‍රමාණය වීම සහ ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී වීම වැනි බාධක රැසක් මධ්‍යයේ වුවද, 2025-26 මූල්‍ය වර්ෂය තුළ සියයට 7.7ක ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත්ව තිබෙනවා.

මේ සමඟ ලොව වේගවත්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකය ලෙස සතු ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමට ඉන්දියාවට හැකි වී ඇති අතර, නාමික ඩොලර් වටිනාකම්වලට අනුව ගෝලීය දළ දේශීය නිෂ්පාදිත (GDP) ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාව තවමත් පසුවන්නේ හයවන ස්ථානයේයි.

කෙසේ වෙතත්, ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙම ශ්‍රේණිගත කිරීම කෙරෙහි බලපා ඇත්තේ එරට ආර්ථිකයේ මූලික ශක්තිමත්භාවයට වඩා, විදේශ විනිමය අනුපාතිකයන්ගේ වෙනස්වීම් සහ සංඛ්‍යානමය සංශෝධන බවයි.

ඉන්දීය සංඛ්‍යාලේඛන හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ නවතම දත්තවලට අනුව, 2025-26 මූල්‍ය වර්ෂයේදී එරට ආර්ථිකය සියයට 7.7කින් වර්ධනය වී තිබෙනවා.

එය 2023-24 වසරේ වාර්තා වූ 7.2%ක වර්ධනය සහ 2024-25 වසරේ වාර්තා වූ 7.1%ක වර්ධනයට වඩා කැපී පෙනෙන ඉහළ යාමක්.

විශේෂයෙන්ම, පසුගිය ජනවාරි-මාර්තු කාර්තුව තුළ දළ දේශීය නිෂ්පාදිතය 7.8%කින් වර්ධනය වෙමින් ආර්ථිකය වඩාත් වේගවත් ගම්‍යතාවක් අත්කරගෙන තිබෙනවා.

මෙයින් පෙන්නුම් කරන්නේ එරට අභ්‍යන්තර වෙළෙඳපොළ ඉල්ලුම, රාජ්‍ය වියදම් සහ ආයෝජන කටයුතුවල පවතින ඉහළ සක්‍රීයතාවයයි.

මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් ලොව ප්‍රධාන ආර්ථිකයන් රැසක් මන්දගාමී වර්ධනයක්, අඛණ්ඩ උද්ධමන පීඩනයක් සහ වෙළෙඳ බාධා කිරීම්වලට මුහුණ දී සිටින වටපිටාවක ඉන්දියාව මෙම ප්‍රගතිය ලබා තිබීම විශේෂත්වයක්.

මෙම ආර්ථික දත්ත, ඉන්දියාවේ වර්ධනය වන ආර්ථික ශක්තියට සහ ඔරොත්තු දීමේ හැකියාවට කදිම සාක්ෂියක් බව එරට ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං පැවසුවා.

බොහෝ රටවල් ආර්ථික අවිනිශ්චිතතාවන්ට මුහුණ දී සිටින මෙවැනි වකවානුවක, ලොව වේගවත්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකය ලෙස ඉන්දියාව තවදුරටත් කැපී පෙනෙන ලෙස ඉදිරියෙන්ම සිටින බව ද ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.
Related recommendation
Hiru TV News | Programmes