General14 June 2026

"ඩුබායි තාරුගේ" මත්ද්‍රව්‍ය බෙදූ අඹුසැමි යුවළක් කොටු

විදේශගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "ඩුබායි තාරු" නමැත්තාගේ මත්ද්‍රව්‍ය නාවලපිටිය, ගම්පොළ, හපුගස්තලාව සහ ගිනිගත්හේන යන ප්‍රදේශවල ස්ථානගත කරමින් බෙදාහැරීමේ නිරත වූ අඹුසැමි යුවළක් මෝටර් රථයක් සහ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඊයේ (13) අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පවසනවා.

නාවලපිටිය, හපුගස්තලාව, රුවන්පුර ප්‍රදේශයේ පදිංචි මෙම අඹුසැමි යුවළ ගම්පොළ ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය බෙදාහරින බවට නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලද රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.

මෙම සැකකාර අඹුසැමි යුවළ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම මෝටර් රථය තුළ ඔවුන්ගේ අවුරුදු තුනක් වයසැති දියණිය ද සිටි බවයි පොලිසිය පවසන්නේ.

සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2480ක් සහ බිරිඳගේ පපු ප්‍රදේශයේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 180ක් පොලිසිය විසින් සොයාගෙන තිබුණා.

නාවලපිටිය පොලිසිය විසින් සිදු කළ මූලික ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ 31 හැවිරිදි සැකකරු සහ 28 හැවිරිදි ඔහුගේ බිරිඳ, "ඩුබායි තාරු"ගේ ගෝලයන් විසින් තමන්ට ලබාදෙන මත්ද්‍රව්‍ය මෙලෙස සුරක්ෂිතව ප්‍රවාහනය කර ඇති බවයි.

පසුව අදාල ප්‍රදේශවල විවිධ ස්ථානවල ඒවා සඟවා, එම ස්ථාන ඡායාරූපගත කොට වට්සැප් (WhatsApp) යෙදවුම ඔස්සේ "ඩුබායි තාරු" වෙත යැවීම තමන් විසින් සිදුකළ බවට සැකකරුවන් පාපොච්චාරණය කර ඇතැයි පොලිසිය පවසනවා.
Related recommendation
Hiru TV News | Programmes