General15 June 2026

තීරුබදු නොගෙවා ආනයනය කළ භාණ්ඩ කන්ටේනරයක් එක්ක සැකකරුවෙක් අත්අඩංගුවට

තීරුබදු නොගෙවා විදෙස් රටකින් ආනයනය කරන ලද භාණ්ඩ සහිත කන්ටේනර් රථයක් සමඟ සැකකරුවෙකු නාරම්මල, හොරොම්බාව ප්‍රදේශයේදී ඊවේ (14) සවස අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පවසනවා.

ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු සහ භාණ්ඩ සහිත කන්ටේනර් රථය වැඩිදුර විමර්ශන සඳහා කුලියාපිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි පොලිස් මුලස්ථානය සඳහන් කරන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරොම්බාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක් වන පුද්ගලයෙක්.

පොලිස් භාරයට ගත් කන්ටේනර් රථය තුළ තිබී විදෙස් රටක නිෂ්පාදිත මත්පැන් බෝතල් 190ක්, යතුරුපැදි කොටස්, යතුරුපැදි චැසි 42ක්, යතුරුපැදි එංජින් 44ක්, පාපැදි සහ පාපැදි කොටස්, ෆෝක් ලිෆ්ට් (Forklifts) 06ක්, ස්කැවේටර් යන්ත්‍ර (Excavators) 03ක් මෙන්ම කෘෂි උපකරණ හා ගෘහ භාණ්ඩ රැසක් සොයාගෙන තිබෙනවා.

මෙම කන්ටේනර් රථය පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට සහය වීමට කුරුණෑගල සහ පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා (STF) කඳවුරුවලට අනුයුක්ත සෝදිසි නිලධාරීන් ද කැඳවා තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes