General15 June 2026

"පීඩිතයන් වෙනුවෙන් ආපු ආණ්ඩුව අද ධනපතියන් රකිනවා" - නාමල් රාජපක්ෂ

වර්තමාන ශ්‍රී ලංකාවේ සමස්ත දේශීය හා විදේශීය ණය වටිනාකම මෙන් දෙගුණයක ජාතික සම්පත් සහ ආර්ථිකය එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණ (JVP) විසින් අතීතයේදී විනාශ කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

අම්පාරේ පැවති ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ, එලෙස රටේ ආර්ථිකයට දැවැන්ත හානියක් සිදුකළ පාර්ශවයන් අද වන විට විපක්ෂයට චෝදනා කරමින් සිටින බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ, වත්මන් රජය සිය නොහැකියාව වසා ගැනීමට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ කතා කියමින් වැරැද්ද වෙනත් අය පිට පැටවීමට උත්සාහ කරන බවට චෝදනා කර සිටියා.

එම ප්‍රහාරයට සම්බන්ධ අයට උදව් කළ නීතිඥයන් සිටින්නේ කුමන පක්ෂවලද යන්න සහ පරීක්ෂණ ගොනු යටගැසුවේ කවුද යන්න ජනතාවට පැහැදිලි බවත්, අද වන විට රජය විසින් ඔවුන්ට ඉහළ තනතුරු පිරිනමා ඇති බවයි සඳහන් කළේ.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසූ අදහස් පහතින්.

"අද ආණ්ඩුවේ ඇමතිවරු පාස්කු සිදුවීම සම්බන්ධයෙන් එක එක කතා කියමින් තමන්ගේ නොහැකියාව වහගන්න හදනවා. ඔවුන් උත්සාහ කරන්නේ මේ ප්‍රහාරයේ වැරැද්ද වෙනත් පාර්ශව පිට පටවන්නයි. හැබැයි ඇත්තටම හොයලා බැලුවොත්, මේ සිද්ධියට සම්බන්ධ වුණු අයට උදව් කරපු නීතිඥයෝ ඉන්නේ මොන දේශපාලන පක්ෂවලද, පරීක්ෂණ ෆයිල් යටගැහුවේ කවුද කියලා ඕනෑම කෙනෙකුට පැහැදිලි වෙනවා. අද වෙනකොට ඒ වගේ අයටම ආණ්ඩුව ඉහළ තනතුරු දීලා තියෙනවා. මේවා අහම්බෙන් සිද්ධ වුණු දේවල් නෙමෙයි, තමන් දුන්නු බොරු පොරොන්දු ජනතාවට තේරෙනකොට, ඒකට එරෙහිව නැඟී සිටින ජනතාව මර්දනය කරන්නයි ආණ්ඩුව මේ දවස්වල සූදානම් වෙන්නේ.

අනිත් පැත්තෙන් රටේ කෘෂිකර්මාන්තය සහ ගොවි ජනතාව අද සම්පූර්ණයෙන්ම අසරණ වෙලා ඉන්නවා. මහ කන්නයට අවශ්‍ය පොහොර ටිකවත් වෙලාවට දෙන්න ආණ්ඩුවට කිසිම සැලැස්මක් නැ. වී ටික විකුණගන්න බැරුව ගොවියෝ ලතවෙද්දී, කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ගත්ත බැංකු ණය ගෙවාගන්න බැරුව තමන්ගේ ව්‍යාපාර වහලා දාන තැනට පත්වෙලා. ආණ්ඩුව කරන්නේ දේශීය නිෂ්පාදකයා නංවනවා වෙනුවට පිටරටින් බඩු ගෙනල්ලා තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයන්ට විතරක් මඩි තර කරගන්න ඉඩ දෙන එකයි. මේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා අද ගමේ අහිංසක එළවළු, පළතුරු සහ වී ගොවියා වගේම උක් ගොවියත් සම්පූර්ණයෙන්ම ණය බරින් මිරිකිලා ඉවරයි.''
Related recommendation
Hiru TV News | Programmes