General16 June 2026

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ ලක්විජය බලාගාරය නිරීක්ෂණය කරයි

2009 වසරේ සිට මේ දක්වා කාලසීමාවේදී ගල් අඟුරු ආනයනයේදී සිදු වු බව කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම් ඩී. වී. බන්දුලසේන ඇතුළු විමර්ශන නිලධාරීන් පසුගිය 14 වැනිදා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා.

මෙහිදී සිදු කළ ස්ථානීය පරීක්ෂාවේදී ගල් අඟුරු ගොඩබෑමේ සිට ගල් අඟුරු මගින් විදුලිය ජනනය කරන තෙක් වන සම්පුර්ණ ක්‍රියාවලිය නිරීක්ෂණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ගල් අඟුරු ගොඩබෑම, ගබඩා කර තැබීම, අහඹු නියැදි සාම්පල ලබා ගැනීම, නියැදි පරීක්ෂණය හා ප්‍රධාන පාලක මැදිරියේ මෙහෙයුම් කටයුතු ආදී කාර්යයන් පිළිබඳව ද විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ගල් අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට මෙම අප්‍රේල් 16 වන දිනෙන් අවසන් වූ කාල සීමාවේ රජයට අයත් සී/ස ගල් අඟුරු පුද්ගලික සමාගම හෝ එහි අනුප්‍රාප්තිකයින් මගින් ලංකාවට ගල් අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහායි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම කොමිෂන් සභාව පත් කර ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes