General16 June 2026

හැකර්වරුන්ගේ වීඩියෝ එළියට දැම්මොත් හර්ෂව සභාපතිකමෙන් අයින් කරනවා! ආණ්ඩු පක්ෂයෙන් තර්ජන එල්ල වූ බව අජිත් පී. පෙරේරා හෙළි කරයි

රජයේ මුදල් කාරක සභාව තුළ ක්‍රියාත්මක වූ හැකර්වරුන් පිළිබඳ පරීක්ෂණවලට අදාළ වීඩියෝ පට මාධ්‍ය වෙත මුදාහැරීමට කටයුතු කළහොත්, එම කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වාව එම ධුරයෙන් ඉවත් කරන බවට ආණ්ඩු පක්ෂයේ බහුතරයක් මන්ත්‍රීවරුන් විසින් තර්ජනය කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා.

මහජන මුදල් කාරක සභාවේ සාකච්ඡා වීඩියෝ පට මාධ්‍ය වෙත නිකුත් නොවීම පිළිබඳව ඊයේ (15) පැවැති “හිරු සලකුණ” දේශපාලන වැඩසටහනේ මාධ්‍යවේදින් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

මහා භාණ්ඩාගාර ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා කැඳවා මූල්‍ය වංචා හා ඩොලර් අර්බුද පිළිබඳව සාකච්ඡා කළ පාර්ලිමේන්තු මහජන මුදල් කාරක සභාවේ අවසන් රැස්වීම් දෙකෙහි වීඩියෝ පට මාධ්‍ය වෙත මුදාහැරීම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ බරපතල බලපෑම මත මෙලෙස නතර කර ඇති බවයි එම වැඩසටහනේදී හිටපු මන්ත්‍රීවරයා අනාවරණය කළේ.

මුදල් කාරක සභාවේ සාකච්ඡා මෙතෙක් කල් ජනතාවට විනිවිදභාවයෙන් යුතුව දැනගැනීමට සැලැස්වූවද, ආණ්ඩු පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම වීඩියෝ පට මුදාහැරීම වළක්වන ලෙස ඉල්ලා දැඩි බලපෑමක් සිදු කර ඇතැයි එහිදී හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළා.

මීට පෙර 2023 වසරේදී ද ගල්අඟුරු වංචාව එළිදරව් කරමින් නිර්දේශ ඉදිරිපත් කළ අවස්ථාවේදී හර්ෂ ද සිල්වාගේ සභාපතිකම අහෝසි කිරීමට එවකට කටයුතු කර තිබූ බවයි හෙතෙම සඳහන් කළේ.

මෙම අවස්ථාවේදී ද "එසේ නම් තමන්ව සභාපතිකමෙන් අස් කරන ලෙස" පවසමින් හර්ෂ ද සිල්වා සෘජුව අභියෝග කර ඇති අතර, රටේ සිදුවන මූල්‍ය කළමනාකරණ ගැටලුවලට වගකිවයුත්තන් කවුදැයි දැනගැනීමට පුරවැසියන්ට අයිතියක් ඇති බැවින් වෙනදා මෙන් මෙම වීඩියෝ පට ද වහාම මුදාහරින ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් බලකර සිටි බවයි හෙතෙම පැවසුවේ.

මේ අතර, මෑතකදී පාර්ලිමේන්තුවට පැමිණි මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ චීන මුදල් ද ඇතුළුව දැනට පවතින ඇමරිකානු ඩොලර් බිලියන 6.8ක විදේශ විනිමය ප්‍රමාණය යම් තරමකට ප්‍රමාණවත් වුවද, ඉදිරි වසරවල ඉලක්ක සපුරා ගැනීමට රජය මෙම අරමුදල් තවදුරටත් වැඩිදියුණු කරගත යුතු බවයි හෙතෙම සඳහන් කළේ.

මෙරට සමාගම් රැසක් භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් කිසිදු භාණ්ඩයක් නොගෙන්වා නීතිවිරෝධී ලෙස රටින් ඩොලර් පිටකිරීමේ මහා පරිමාණ ජාවාරමක් ශ්‍රී ලංකා පොලිසිය සහ රේගුව මඟින් අනාවරණය කරගෙන තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

එහිදී 'නෙක්ස්ට් ජෙන්' (Next Gen Private Limited) නැමති සමාගමක් පමණක් අවස්ථා 953කදී රුපියල් කෝටි 1,289ක මුදලක් විදේශ රටවල් 26ක සමාගම් වෙත හුවමාරු කරමින් ඩොලර් මිලියන 42.7ක් රටින් පිටකර ඇති බවට වාර්තා වන බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම ජාතික සංවර්ධන බැංකුවේ (NDB) රුපියල් බිලියන 13.2ක (කෝටි 1,300ක) මූල්‍ය වංචාවට අදාළ මුදල් ද මෙම ක්‍රමයටම කෙටි කාලයක් තුළ විදේශ රටවලට යවා ඇති අතර, ඒ හරහා තවත් ඩොලර් මිලියන 43ක් රටින් පිටව ගොස් ඇත. වංචාකරුවන් විසින් මහ බැංකු නිලධාරීන්ව රවටා ඇති බව මහ බැංකු අධිපතිවරයා පැවසුවද, මෙවැනි බිලියන ගණනක මුදල් වංචා වසර ගණනාවක් තිස්සේ සිදුවන තෙක් වැළැක්වීමට නොහැකි වීමෙන් මහ බැංකුවේ අධීක්ෂණ ක්‍රියාවලිය ඉතාමත් දුර්වල මට්ටමක පවතින බව හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් චෝදනා කරනවා.
Related recommendation
Hiru TV News | Programmes