General18 June 2026

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ කටුවාවල දෙමහල් නිවෙස සහ ඉඩම තහනමට: සැකකාරිය හෙට (19)‍ තෙක් රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් නීතිවිරෝධී ලෙස උපයා ගත් මුදල්වලින් මිලදී ගන්නා ලද කටුවාවල ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් සහ ඉඩමක් දින 07ක කාලයකට තහනම් කිරීමට (ක්‍රියාවිරහිත කිරීමට) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.

ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගනිමින්.

පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරමින් නීතිවිරෝධී ලෙස වත්කම් උපයා ඇති බවට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කරන ලද දැනුම්දීමකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබුණා.

එහිදී සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් යොදවා කටුවාවල, දිවුල්පිටිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 10ක ඉඩමක් මිලදී ගෙන එහි දෙමහල් නිවසක් ද ඉදිකර ඇති බවයි.

ඒ අනුව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව ක්‍රියාත්මක වූ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය, අදාළ දේපළ පෙරේදා (17) දින සිට බලපැවැත්වෙන පරිදි දින 07ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමට අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා තිබුණා.

මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මෙම සැකකාර කාන්තාව ඉකුත් මැයි 21 වන දින අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඇය අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අවස්ථා කිහිපයකදීම රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබුණා.

ඒ අනුව ඇය හෙට (19) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි ඉකුත් නඩු දිනයේදී අධිකරණය නියෝග කර තිබෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes