International19 June 2026

මිලියන 100ක චීන පාරිභෝගිකයෝ ණය බරින් හෙම්බත් වෙති

ලොව දෙවැනි විශාලතම ආර්ථිකය පුනර්ජීවනය කිරීමට බීජිං පාලනය දරන උත්සාහයට දැඩි තර්ජනයක් එල්ල කරමින්, චීන පාරිභෝගිකයන් මිලියන 100කට ආසන්න පිරිසක් තමන් ලබාගෙන ඇති පෞද්ගලික ණය පියවා ගැනීමට නොහැකිව දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වෙනවා.

මෙය එරට ආර්ථිකය තුළ නිහඬව වර්ධනය වන බරපතල ව්‍යසනයක් බවයි විදේශීය ආර්ථික විශ්ලේෂකයෝ පවසන්නේ.

පසුගිය වසර කිහිපය තුළ ක්‍රෙඩිට් කාඩ් පත්වලින් ලබාගත් ණය මෙන්ම නිවාස ණය ඇතුළු පාරිභෝගික ණය පැහැර හැරීම් චීනය තුළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

Gavekal Dragonomics ආයතනයේ දත්තවලට අනුව, පසුගිය වසරේදී පමණක් මෙලෙස ගෙවීම් පැහැර හරින ලද පවුල් ණය ප්‍රමාණය සියයට 21කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දැනට වාර්තාගත නොපියවූ ණය ප්‍රමාණය යුවාන් ට්‍රිලියන 2.22ක් (අමෙරිකානු ඩොලර් බිලියන 329ක්) දක්වා අතිදැවැන්ත අගයකින් වර්ධනය වී ඇති බවයි සඳහන් වෙන්නේ.

පාරිභෝගිකයන් පැහැර හරින ලද සහ ගෙවීම් ප්‍රමාද කර ඇති ණය පිළිබඳ සමස්ත දත්ත වාර්තා නිකුත් කිරීම චීන බලධාරීන් විසින් නතර කිරීමෙන් පසුව, මෙම පර්යේෂණ ආයතනය එරට බැංකු 26ක මූල්‍ය වාර්තා සහ අනෙකුත් ද්වාරයන් විශ්ලේෂණය කරමින් මෙම නිගමනයට එළඹ තිබෙනවා.

මේ අතර Zhejiang විශ්වවිද්‍යාලයේ මූල්‍ය පර්යේෂණ ආයතනය පවසන්නේ චීන මූල්‍ය ආයතන සතුව වාර්ෂිකව පියවීමට සිදුවන මෙවැනි අක්‍රීය පෞද්ගලික ණය ප්‍රමාණය යුවාන් ට්‍රිලියන 2 සිට 3 දක්වා අගයක් ගත හැකි බවයි.
Related recommendation
Hiru TV News | Programmes