General21 June 2026

දැරණියගල උණුසුම්කළ ගැටුමට සිව්දෙනෙක් රිමාන්ඩ්

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පහරදීම් සිදුකිරීම සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම යන චෝදනා මත දැරණියගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනෙකු ලබන ජූලි මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, පසුගිය ජූනි 19 වනදා දැරණියගල පොලිස් බලප්‍රදේශයේදී අයුතු ජනරාශියක සාමාජිකයින් වී පොලිස් නිලධාරීන්ට පහර දී තිබූ බවයි.

මෙම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් ඔවුන්ගේ රාජකාරියට දැඩි ලෙස බාධා පමුණුවා ඇති බවයි එම නිවේදනයේ සඳහන්.

මීට අමතරව, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 24,900 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමෙන් පසු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි මෙම සැකකරුවන් සිව්දෙනා ඊයේ (20) අවිස්සාවේල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes