General22 June 2026

සාර්ක් මහලේකම්වරයා අගමැතිනිය හමුවෙයි

දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ (SAARC) මහලේකම් ගෝලම් සර්වර් (H.E. Md. Golam Sarwar) සිය ධුර කාලය අවසන් කර නික්ම යාමට පෙර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවූ බව අගමැති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

මෙම සුහද හමුව අද (22) දින අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

මෙහිදී සාර්ක් මහලේකම්වරයාව ඉතා සුහදශීලීව පිළිගත් අග්‍රාමාත්‍යවරිය, කලාපීය සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සහ සාර්ක් සංවිධානයේ අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා ඔහු ඉටුකළ මෙහෙවර අගය කළා.

මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරුණේ හෙට (23) කොළඹදී පැවැත්වීමට නියමිත ‘ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම පිළිබඳ අමාත්‍ය මණ්ඩල සමුළුව’ (Ministerial Conference on Ending Violence Against Children) සම්බන්ධවයි.

දකුණු ආසියාව පුරා වෙසෙන ළමුන්ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කිරීම සඳහා සමස්ත කලාපයම ඒකාබද්ධව ක්‍රියා කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළා.

සාර්ක් ලේකම් කාර්යාලයේ වත්මන් ක්‍රියාකාරකම් සහ සාර්ක් රාමුව යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන කලාපීය වැඩපිළිවෙල පිළිබඳව මහලේකම්වරයා මෙහිදී අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළා.

සාමාජික රටවල් අතර සහයෝගිතාවය වැඩි දියුණු කිරීම හරහා ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සහ ළමා පෝෂණය ඉහළ නැංවීම සඳහා සාර්ක් සංවිධානය දරන උත්සාහයන් කෙරෙහි එහිදී විශේෂ අවධානයක් යොමු වුණා.

හොඳම භාවිතයන් හුවමාරු කර ගැනීමටත්, කලාපීය සම්බන්ධතාවය සහ සහයෝගිතාවය වර්ධනය කිරීමටත් හැකිවන පරිදි, සාර්ක් සංවිධානය සහ අනෙකුත් කලාපීය සංවිධාන අතර සමීප සබඳතාවක් ඇති කර ගැනීමේ වැදගත්කමද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නා.
Related recommendation
Hiru TV News | Programmes