International24 June 2026

පලස්තීනයේ සෞඛ්‍ය පද්ධතිය බේරාගැනීමට ඉන්දියාවේ සහය පතා හදිසි ඉල්ලීමක්

පලස්තීන කලාපය තුළ පවතින සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමේ අද්දරටම පැමිණ ඇති බව පවසමින්, වෛද්‍ය ආධාර සැපයීම සඳහා වහාම ජාත්‍යන්තරයේ සහ ඉන්දියාවේ මැදිහත්වීම ඉල්ලා ඉන්දියාවේ පිහිටි පලස්තීන තානාපති කාර්යාලය හදිසි ආයාචනයක් නිකුත් කර තිබෙනවා.

නිල නිවේදනයක් නිකුත් කරමින් පලස්තීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ, ඊශ්‍රායලය විසින් අඛණ්ඩව දියත් කරනු ලබන හමුදා ප්‍රහාර, වෛද්‍ය යටිතල පහසුකම් මහා පරිමාණයෙන් විනාශ කිරීම, මානුෂීය ආධාර සැපයීමට පනවා ඇති දැඩි සීමා කිරීම් සහ මූල්‍යමය වශයෙන් හුදකලා කිරීමේ පියවර හේතුවෙන් පලස්තීන බලප්‍රදේශයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙලෙස දරුණු ලෙස බිඳ වැටී ඇති බවයි.

“මෙය දහස් ගණනක් වූ අහිංසක ජීවිත බේරාගත යුතුම මොහොතයි. ඉන්දියාව සහ ඉන්දීය ජනතාව මෙයට මැදිහත් නොවුණහොත් වෙන කවුද මැදිහත් වෙන්නේ? දැන් නොවුණහොත් වෙන කවදාද? සෑම මිනිස් ජීවිතයක්ම වටිනවා.” යනුවෙන් ද එම නිවේදනයේ සඳහන්.

“පලස්තීන ජනතාව තවමත් මානව දයාව කෙරෙහි මෙන්ම, යුක්තිය, මානුෂීය සන්නිවේදනය, යටත්විජිත විරෝධී ප්‍රතිපත්ති සහ පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් ඉන්දියාව සතු ඓතිහාසික කැපවීම දෙස බලාපොරොත්තු සහගතව බලා සිටිනවා,” යනුවෙන් ද එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ගෝලීය සෞඛ්‍ය සහ ආපදා සහන සම්බන්ධයෙන් ඉන්දියාව සතු කැපවීම ප්‍රදර්ශනය කරමින් දියත් කර ඇති ‘ආරෝග්‍යා මෛත්‍රී’ මානුෂීය වැඩසටහන යටතේ පලස්තීනයට වෛද්‍ය ආධාර සපයන ලෙස තානාපති කාර්යාලය ඉන්දියාවෙන් ඉල්ලා සිටිනවා.
Related recommendation
Hiru TV News | Programmes