General25 June 2026

ඉන්දීය විදේශ ඇමති සහ දකුණු කොරියානු විදේශ ඇමති අතර හමුවක්

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ දකුණු කොරියානු විදේශ අමාත්‍ය චෝ හ්යුන් අතර විශේෂ සාකච්ඡාවක් සෝල් නුවරදී පැවැත්වුණා.

දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ වේගයෙන් වෙනස් වන ගෝලීය තත්ත්වයන් පිළිබඳව මෙහිදී නායකයන්ගේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.

මොන්ගෝලියාවේ සංචාරයකින් අනතුරුව, සිය විදේශ සංචාරයේ දෙවැනි අදියර ලෙස අමාත්‍ය ජයශංකර් මේ වන විට දකුණු කොරියාවේ දෙදින නිල සංචාරයක නිරතව සිටිනවා.

නැවත වතාවක් සෝල් නුවරට පැමිණීමට ලැබීම පිළිබඳව සතුටට පත්වන බව පවසමින් සාකච්ඡාව ආරම්භ කළ අමාත්‍ය ජයශංකර් වත්මන් ලෝක තත්ත්වය සහ දෙරට අතර පවතින සබඳතාවයේ වැදගත්කම සලකා බලන කල මෙම හමුව ඉතා කාලෝචිත එකක් බවයි පෙන්වා දුන්නේ.

පසුගිය අප්‍රේල් මාසයේදී දකුණු කොරියානු ජනාධිපති ලී ජේ-මියුන්ග් ඉන්දියාවේ කළ නිල සංචාරයේදී එකඟ වූ වෙළඳ, ආයෝජන සහ මූල්‍ය යන ප්‍රධාන ක්ෂේත්‍රයන්හි ඉදිරි පියවරයන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

විදේශ අමාත්‍යවරුන් ලෙස, දෙරට අතර සබඳතා වඩාත් ඉදිරිගාමී මෙන්ම සමකාලීන හවුල්කාරිත්වයක් දක්වා ඉදිරියට රැගෙන යාම තමන් සතු වගකීමක් බව ජයශංකර් අවධාරණය කළේ.

"අපගේ සබඳතාවල පවතින සැබෑ විභවතාවන් තවමත් සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කරගෙන නැහැ. එය ඉටුකර ගැනීම වෙනුවෙන් අපගේ උපරිම කැපවීම ලබාදීමට අපි සූදානම්," යනුවෙන් පැවසූ අමාත්‍ය ජයශංකර්, දෙරටේ සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් කොරියානු විදේශ අමාත්‍යවරයා දක්වන පෞද්ගලික උනන්දුව ද ඇගයීමට ලක් කළා.

මෙම හමුවෙන් අනතුරුව X සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ, දේශපාලන, නැව් නිර්මාණ, වෙළඳ, ආයෝජන, ආරක්ෂක, තාක්ෂණ, පිරිසිදු බලශක්ති, සංස්කෘතික සහ අන්‍යෝන්‍ය ජනතා සබඳතා යන ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව පිළිබඳව මෙහිදී සමාලෝචනය කළ බවයි.

මීට අමතරව, නව ව්‍යවසාය, මූල්‍ය තාක්ෂණ සහ බහුපාර්ශ්වික සංසදයන්හි පවතින අවස්ථා මෙන්ම කලාපීය සහ ගෝලීය වශයෙන් සිදුවන නව වර්ධනයන් පිළිබඳවද අදහස් හුවමාරු කරගත් බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

සෝල් නුවරදී පැවැති මෙම සාකච්ඡාව දිවා භෝජන සංග්‍රහය අතරතුරද අඛණ්ඩව සිදුවූ අතර එය පැය තුනකට ආසන්න කාලයක් පැවැත්වුණා.

දකුණු කොරියානු විදේශ අමාත්‍ය චෝ හ්යුන් මෙහිදී ප්‍රකාශ කළේ, පසුගිය අප්‍රේල් මාසයේදී ජනාධිපති ලී ඉන්දියාවේ කළ සංචාරය කොරියා-ඉන්දියා සබඳතා නව මානයක් කරා ඔසවා තැබූ සන්ධිස්ථානයක් වූ බවයි.
Related recommendation
Hiru TV News | Programmes