General30 June 2026

සියලුම සිසුන් සාමාන්‍ය පෙළ සමත් වූ හෝමාගම මහින්දයට විදුහල්පතිවරයෙකු නෑ: නියෝජ්‍ය විදුහල්පතිවරු 4කගේ හා ගුරු පුරප්පාඩුත් 30ක්

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට විදුහල්පතිවරයෙකු, නියෝජ්‍ය විදුහල්පතිවරුන් සිව් දෙනෙකු හා ගුරුවරුන් තිස් දෙනෙකුගේ පුරප්පාඩු පවතින බව එම විද්‍යාලයේ නිර්මාතෘවරයකු හා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන හිටපු අමාත්‍යවරයකු වූ ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

එසේම පසුගිය වසරේ පැවති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයෙන් ඉදිරිපත් වූ සිසුන් 770 දෙනාම උසස් පෙළ හැදෑරීමට සුදුසු ලබමින් ප්‍රතිඵල නිකුත් වන අවස්ථාවේදී ද මෙසේ පුරප්පාඩු පැවතියා.

සිසුන් 7,000ක් අධ්‍යාපනය ලබන මිශ්‍ර පාසලක් වන මෙම පාසලට කුඩම්මාගේ සැලකිල්ල දක්වන්නේ 'මහින්ද රාජපක්ෂ' නම නිසා නම් එම නම ඉවත් කර හෝ උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබූ සිසුන් හත්සිය හැත්තෑ දෙනා ඇතුළු සියලු සිසුන්ගේ අනාගතය පෑදීමට අවශ්‍ය අවධානය යොමු කරනා ලෙසයි හිටපු ඇමතිවරයා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

2025 - 2026 වසරේ පැවති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මෙම පාසලෙන් සිසුන් 770 දෙනෙකු ඉදිරිපත් වී ඇති අතර එම සිසුන් සියලු දෙනාම ලබන වසරේ සිට උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා ඇති බව හෙතෙම කියා සිටියා.

එහිදි සිසුන් 190 දෙනෙකු A සාමාර්ථ නවය බැගින් ද , A සාමාර්ථ පහට වැඩියෙන් ලැබූ සිසුන් ගණන 560 දෙනෙකු බවද සඳහන්.

එසේම ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගයට ඉදිරිපත් වූ සිසුන් 124 දෙනාම උසස් පෙළ විභාගය හැදෑරීමට සුදුසුකම් ලබා ඇති බවත්, ජපන් භාෂාව හැදෑරු සිසුන් 55 දෙනාගෙන් 50 දෙනෙකු ද, කොරියන් භාෂාව හැදෑරූ 11 දෙනෙකු ද, දෙමළ භාෂාව හැදෑරූ 30 දෙනා හා ප්‍රංශ භාෂාව හැදෑරූ 06 දෙනෙකු එම විෂයන්ට අති විශිෂ්ට සාමාර්ථ ලබා ඇති බවයි හිටපු ඇමතිවරයා සඳහන් කළේ.

වසර පහළවක සිට මෙම පාසලේ කීර්තිමත් විදුහල්පතිවරුන්, නියෝජ්‍ය හා සහකාර විදුහල්පතිවරුන් ඇතුළු ගුරු මණ්ඩලයක් සේවයේ නිරත වූ අතර, අන් කවරදාටත් වඩා අද වන විට එම පාසලේ ගුරු පුරප්පාඩු පවතින බව ඔහු පෙන්වා දෙනවා.

ඒ අනුව විදුහල්පතිවරයෙකු, නියෝජ්‍ය විදුහල්පතිවරුන් සිව් දෙනෙකු හා ගුරුවරුන් තිස් දෙනෙකුගේ සේවය පාසලට නොලැබීමෙන් සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබූ සිසුන් 770 දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ඔහු පවසනවා.

ශිෂ්‍යත්ව විභාගය සමත්ව කොළඹ පාසල්වලට තේරී පත් නොවූ, කොළඹට නුදුරු ගම්වල අඩුපහසුකම් සහිත පවුල්වල දරුවන් මෙම පාසලට තේරී පත්වන බැවින් එම දරුවන්ගේ අනාගතය අතරමග කඩා බිඳ දමන්නට කටයුතු නොකරන ලෙසත්, හිටපු ඇමතිවරයා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් දැනුවත් කළද ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවත්, ජනාධිපතිවරයා අධ්‍යාපන ඇමැතිවරිය ලෙස කටයුතු කරන අගමැතිවරියගේ හෝ අවධානය යොමු කර මෙම පාසලට කඩිනමින් විදුහල්පතිවරයෙකුගේ සහ සෙසු ගුරු මණ්ඩලයේ පුරප්පාඩු පුරවන ලෙසත් හිටපු ඇමතිවරයා ඉල්ලා සිටිනවා.
Related recommendation
Hiru TV News | Programmes