General30 June 2026

දඩ මුදලකින් තොරව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට සහන කාලයක්

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු තැනැත්තන් සඳහා, ස්ථාපනය කර ඇති මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා තම ප්‍රකාශයන් ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය දඩ මුදලකින් තොරව ලබන ජූලි මස 7 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

එම කොමිසම මේ බව සඳහන් කරන්නේ අද (30) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.

2026.03.31 දිනට ඇති වාර්ෂික සහ පශ්චාත් විශ්‍රාම වත්කම් සහ බැරකම් ප්‍රකාශ, අද දිනට (2026.06.30) හෝ ඊට පෙර සිදුකළ යුතු වූ අතර, එසේ සිදුකිරීමේදී දඩ මුදලකට යටත් නොවන බව මීට පෙර දැනුම් දී තිබු බවයි එම කොමිසම සඳහන් කරන්නේ.

මෙම ප්‍රකාශ ඉදිරිපත් කිරීම අගෝස්තු මස 31 දක්වා සිදුකළ හැකි වුවද, ජූනි 30 න් පසුව ඉදිරිපත් කරන ප්‍රකාශ සඳහා දඩ මුදලකට යටත් වීමට නියමිතව තිබිණා.

කෙසේ වුවද, ඉකුත් ජූනි 28 වන දින සිට මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට දිනක් තුළ ඇතුළත් වූ අධික පරිශීලක ප්‍රවේශයන් හේතුවෙන් පද්ධතිය තුළ දැඩි තදබදයක් හටගෙන තිබූ බවයි අල්ලස් කොමිසම සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් ප්‍රකාශකයන් හට තාක්ෂණික දෝෂයන්ට මුහුණ පෑමට සිදුවූ බවට කොමිෂන් සභාවට වාර්තා වූ බව එම කොමිසම පවසනවා.

ඒ අනුව, මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියේ සාර්ථකව ලියාපදිංචි වී තිබියදීත්, 2026 ජූනි 30 වන දින හෝ ඊට පෙර තම වත්කම් හා බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නොහැකි වූ නිලධාරීන්ට මෙන්ම, 2026 ජූනි 30 වන දින හෝ ඊට පෙර පද්ධතියට පිවිස ලියාපදිංචි වීමට උත්සාහ කළද තාක්ෂණික දෝෂ හේතුවෙන් ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට නොහැකි වූ නිලධාරීන්ට දඩ අයකිරීමකින් තොරව තම වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා 2026 ජූලි මස 7 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා අවසර දෙනු ලබන බවයි අල්ලස් කොමිසම සඳහන් කරන්නේ.

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳව වන මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට තොරතුරු ඇතුළත් කිරීමේදී මතුවන ගැටලු පවතී නම්, කොමිෂන් සභාවේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ අංශයේ 0767011954 සහ 0112587287 යන දුරකථන අංකයන් මඟින් පමණක් සම්බන්ධ කරගෙන ඒවා නිරාකරණය කර ගන්නා ලෙසයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිය නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes