General30 June 2026

වනාතවිල්ලුවේදී තෙප්පමක් පෙරළී ළමුන් සිව්දෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

වනාතවිල්ලුව පොලිස් වසමට අයත් බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ මංගලපුර විල්ලුවේදී තෙප්පමක් පෙරළීමෙන් අද (30) දහවල් සිදුවූ අනතුරකින් ළමුන් සිව්දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.

බණ්ඩාරනායකපුර සහ මංගලපුර ප්‍රදේශවල පදිංචි 16 හැවිරිදි වියේ පසු වූ ළමුන් පස්දෙනෙකු මංගලපුර විල්ලුවේ තෙප්පමක් ආධාරයෙන් මල් කැඩීම සඳහා ගොස් තිබෙනවා.
එහිදී ඔවුන් ගමන් කළ තෙප්පම අනපේක්ෂිත ලෙස පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

තෙප්පම පෙරළෙන අවස්ථාවේදී එහි සිටි එක් ළමයෙකු වහාම පිහිනා ගොඩට පැමිණ තම ජීවිතය බේරාගෙන ඇති අතර, ඉතිරි ළමුන් සිව්දෙනාට බේරීමට නොහැකිව දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසන්නේ.

අනතුරින් ජීවිතක්ෂයට පත් වූ ළමුන් සිව්දෙනාගේම මෘත ශරීර දැනට පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම සිසුන් එම ප්‍රදේශයේ එකම පාසලක ඉගෙනුම ලබන සිසුන් බවයි සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනවා.
Related recommendation
Hiru TV News | Programmes