General30 June 2026

නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ රියල් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වයිස් අද්මිරාල් නිලයට උසස් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාපති ලෙස පත් කර තිබෙනවා

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ජනාධිපති ලේකම් කාර්‌යාලයේදී අද (30) පස්වරුවේ භාරදෙනු ලැබුවා.

ජූලි 01 වන දා සිට බල පැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇති අතර වත්මන් නාවික හමුදාපති අද්මිරාල් කාංචන බානගොඩ ජූලි 01 වන දා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතයි.

වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදැරූ ඩේමියන් ප්‍රනාන්දු 1991 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන බඳවා ගැනීම යටතේ විධායක අංශයේ ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට එක්වූ අතර, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේ මූලික නාවික පුහුණුව සාර්‌ථකව නිම කිරීමෙන් අනතුරුව 1993 වසරේදී උප ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්වුණා.

වසර 35ක විශිෂ්ට නාවික සේවා දිවිය තුළ දෙස් විදෙස් විවිධ වෘත්තීය හා විශේෂඥ පුහුණු පාඨමාලා රැසක් හදාරා ඇති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු රණශූර, උත්තම සේවා යන පදක්කම්වලින් මෙන්ම සිය වෘත්තීමය දක්ෂතාව, කාර්‌යක්ෂමතාව සහ කැපීපෙනෙන සේවා දායකත්වය අගයමින්, විවිධ අවස්ථා හයකදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපතිවරු විසින් ප්‍රශංසාත්මක ලිපි පිරිනමා සේවය ඇගයීමට ලක් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes