General01 July 2026

සුගීෂ්වර යළිත් රිමාන්ඩ්

ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර ලබන 08 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (01) නියෝග කළා.

එදිනට ඇප ලබා දීමේ නියෝගය ප්‍රකාශයට පත් කරන බවද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නා.

සිද්ධියට අදාලව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් වුණා.

ලද පැමිණිල්ලකට අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර තිබුණා.

මෙම සැකකරු, ඉකුත් 2022 වර්ෂයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම්වරයෙකු වශයෙන් සිටිමින් හා එම කාල වකවානුව තුළම එවකට ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කර ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකළ බවයි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය අධිකරණයට දැනුම් දුන්නේ.

සිද්ධියට අදාලව කොල්ලුපිටිය ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව ද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

මෙම සැකකරු ඉහත සඳහන් තනතුරු දරමින් සිටියදී රජයේ වාහන අවභාවිත කිරීමක් හා එහි සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීමට කටයුතු කිරීමක් සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් එම කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ.
Related recommendation
Hiru TV News | Programmes