General05 July 2026

සහෝදරයාගේ උපන්දින සාදයේදී ඇතිවූ ආරවුලෙන් අයෙක්ට දිවි අහිමි වෙයි

කඩවත පොලිස් වසමේ ඉහළ බියන්විල ප්‍රදේශයේදී ඊයේ (04) රාත්‍රියේ පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහර දී ඉන් එක් අයෙකු ඝාතනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් කඩවත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙක්.

දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මරණකරු ඔහුගේ සහෝදරයකුගේ උපන්දින සාදයකට සහභාගි වී සිට ඇති බවයි.

එහිදී එහි සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ ඇති වූ ආරවුලක් මත මෙම තියුණු ආයුධ ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඉන් මෙම ඝාතනය සිදුව තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් සැකකරු ද අත්අඩංගුවට ගැනීම සඳහා කඩවත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes